වධහිංසා කර දැරියක මහමග දමා යෑම:
දරුවාගේ නීත්‍යනුකූල පියාත් පොලිසියට එයි
අසරණ වූ දැරියට පොලිසියෙන් සෙනෙහස
බරපතළ ලෙස වධ හිංසාවට ලක් කර පහරදී පිළිස්සුම් තුවාල සිදුකර වත්තේගම පොලිස් වසමේ යටිරාවන ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමාගොස් සිටියදී සොයාගත් සිව් හැවිරිදි දැරියගේ මව සහ අනියම් සැමියා (සුළු පියා) හාලිඇල, කැටවල පාර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී ඊයේ (14දා) උදේ අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පෙරවරු 10.30 ට පමණ සැක කටයුතු ලෙස මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථය පරීක්ෂාවට ලක් කර එහි සිටි රියැදුරුගේ හා කාන්තාවගේ සැක කටයුතු හැසිරීම නිසා තවදුරටත් ප්‍රශ්න කිරීමේදී වත්තේගම දමා ගිය දැරිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කර තිබේ.
එම තොරතුරු අනුව අදාළ සැකකාරිය, අනියම් සැමියා සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසියේ උසස් නිලධාරියෙක් “දිවයින” ට පැවැසීය.
තමා විවාහක සැමියාගෙන් වෙන්වූ බවත්, පසුව අනියම් සැමියා සහ දියණිය ද සමග වෙන්ව ජීවත්වූ බවත් අත්අඩංගුවට ගත් කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබේ. අනියම් සැමියා දියණිය සමග ජීවත්වීමට අකමැති වීම නිසා සිය දියණිය මෙලෙස මහමග දමා පැමිණි බවත්, හාලිඇල ප්‍රදේශයේ පදිංචි සොයුරියකගේ
නිවසට යමින් සිටි බවත් එම කාන්තාව පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. අනියම් සැමියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූ අයකු බව හෙළිවිනැයි ද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් මව 37 හැවිරිදි වියේ පසුවන්නියක බවත්, අනියම් සැමියා (සුළු පියා) 28 හැවිරිදි වියේ පසුවන්නකු බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර මව් හා අනියම් සැමියා හා ත්‍රිරෝද රථය වැඩිදුර විමර්ශන සඳහා වත්තේගම පොලිසියට භාරදෙන බවද හාලිඇල පොලිසිය කියයි.
අදාළ ත්‍රිරෝද රථය අනියම් සැමියාගේ පියාට අයත් එකක් බව පොලිසිය පවසයි.
මේ අතර දැරියගේ නීත්‍යනුකූල පියා ද ඊයේ වත්තේගම පොලිසියට පැමිණ තිබේ. පොලිසිය වෙත පැමිණි එම දැරියගේ පියා දැරියගේ මව් තමා අතැර ගොස් වෙනම වෙනත් පුද්ගලයකු සමග ජීවත්වූ බවත්, සිය දියණිය ද ඇය භාරයේ සිටි බවත් පැවැසී යැයි වත්තේගම පොලිසිය පවසයි. ඒ අතරතුර සිය බිරිඳ හා අනියම් සැමියා (සුළු පියා) විසින් දැරියට වධ හිංසා කර ඇතැයි ද දැනගන්නට ලැබුණු බවද පියා පොලිසියට පවසා තිබේ.
දැරියගේ සිරුර පුරා තුවාල කැළැල් තිබීම නිසා ඇයව වත්තේගම රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලටත් මාරු කර යවා ඇතැයි ද පොලිසිය පැවැසීය.
“කෝ මගේ අම්මා. මාමේ මට අම්මව සොයා දෙන්න. මම අම්මාට ආදරෙයි. මට අම්මා ඕනෑ” යැයි දැරිය පොලිසියේදී පොලිස් නිලධාරීන්ට පැවැසූ අවස්ථාව සංවේදී සිද්ධියක් විය.
මේ පිළිබඳව බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, බදුල්ල දිස්ත්‍රික් ෂෂ භාර සහකාර පොලිස් අධිකාරි කේ. එම්. ජේ. කේ. බණ්ඩාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ හාලිඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එන්. එස්. රණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඊ. එම්. ගැමුණු වසන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන ජයසිංහ (1477), ලාල් (54168), පොලිස් කොස්තාපල්වරුන් වන ජයසිංහ (86660), කුමාර (82396) යන නිලධාරීන්, වත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා වාසනා මහත්මිය ඇතුළු පිරිස වැඩිදුර පරීක්ෂණ සිදු කරති.






