Press "Enter" to skip to content

11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි

අයෙක් මරුට – අනෙකාට බරපතළයි

පිළියන්දල, මකුළුදූව ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එක් පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පෙරේදා (27 වැනිදා) උදෑසන සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මහරගම මධ්‍ය මහා විදුහලේ 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි, පිළියන්දල, නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසල දහම් නෙත් හෙට්ටිආරච්චි නමැති සිසුවා වේ.

ඔහු සමග යතුරුපැදියේ ගමන්ගත් ඔහුගේම පන්තියේ ඉගෙනුම ලබන මිතුරා අනතුරින් බරපතළ තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

මව රැකියාවට ගොස් සිටි අතරවාරයේ නිවසේ සිට ඇත්තේ දහම් නෙත්ගේ නැගනිය පමණි. එම අවස්ථාවේ දහම් යතුරුපැදිය රැගෙන සිය මිතුරාද නංවාගෙන මකුළුදූව දෙස සිට ඇරැව්වල දෙසට ගමන් කර තිබේ.

එහිදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යෑමේදී වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ද ගැටී මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ද වේගයෙන් ගැටී නතර වී තිබේ.

අනතුරින් පසු දහම් නෙත් හා ඔහුගේ මිතුරා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද ඒ වන විටත් දහම් මියගොස් සිටි බව පොලිසිය කියයි.

අනතුර සිදුවන ආකාරය අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබේ.

විදේශගතව සිටින ආදරණීය පියාට බලකර මීට මාස දෙකකට පමණ පෙර රුපියල් 40,000ක මුදලකට යතුරුපැදිය මිලදී ගෙන ඇත්තේ කොටස් එකළස් කළ එකක් ලෙසිනි. මෙම අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය සහ තවත් කොටස් කීපයක්ම කැඩී වෙන්වී ගොස් තිබූ බව පොලිසිය කියයි.

මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය පිළියන්දල /කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

More from GossipMore posts in Gossip »