පොදු ප්‍රවාහන සේවයේ පවතින දැඩි අඩුපාඩුකම් හේතුවෙන් තවත් එක් අහිංසක තරුණ ජීවිතයක් මහමඟදී අකාලයේ නිරපරාදේ මිලින වී තිබේ. පසුගිය 15 වැනිදා රාත්‍රී කාලයේදී ගාල්ලේ සිට උඩුගම බලා ධාවනය වූ බස් රථයක අධික මගීන් පිරිසක් සිටීම හේතුවෙන් එහි පා පුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි තරුණයෙකු මකුළුව හන්දිය ආසන්නයේදී ඉන් එළියට විසිවී බිහිසුණු අනතුරකට ලක්ව ඇත. අනතුරින් එම තරුණයාගේ හිස සහ මොළය ආශ්‍රිතව සිදුවූ දරුණු තුවාල හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. රාත්‍රී කාලයේදී එම ප්‍රදේශය හරහා ධාවනය වීමට වෙනත් කිසිදු බස් රථයක් නොමැතිවීම නිසා, කෙසේ හෝ රාත්‍රී වීමට පෙර නිවසට යාමේ අරමුණින් මෙම අවාසනාවන්ත තරුණයාට මෙලෙස බස් රථයේ පා පුවරුවේ අවදානම් සහගත ලෙස ගමන් කිරීමට සිදුව තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ඇත්තේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි සිසුවෙකු මෙන්ම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) තොරතුරු(IT) පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි, කාගේත් ආදරය දිනූ ඉදුරු පැහැසර නමැති දීප්තිමත් තරුණයෙකි. ඔහුගේ අකල් මරණය පිළිබඳව මුළු රටේම අවධානය යොමුව ඇති අතර, එම පුවත සැලවීමත් සමඟ ඔහුගේ මිතුරන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය දැඩි කම්පනයට පත්ව ඇත. මීට මාස තුනකට පෙර තම ආදරණීය මෑණියන් අහිමි වීමෙන් පසුව, දැඩි සේ තනිවූ පියා සහ පවුලේ බර කරට ගෙන ජීවිතය දිනන්නට ඉගෙනුම් කටයුතුවල නිරත වූ මෙම අහිංසක සිසුවාගේ වෙන්වීම මුළු ප්‍රදේශයම ශෝක සාගරයක ගිල්වා තිබේ.
තමන්ගේ කූඩුවට යන්නට පොදු ප්‍රවාහනයේ පිහිට පැතූ අසරණ මිනිසුන් පාරවල් ගානේ මෙලෙස මියැදෙන තුරු නිද්‍රාශීලීව සිටින වගකිවයුතු බලධාරීන්ගේ දෑස් පෑදීමට තවත් තරුණ ජීවිත කීයක් බිලිවිය යුතුදැයි සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සංවේදීව ප්‍රශ්න කර සිටිති. “බස් එකේ එල්ලිලා යන එක වැරදියි කියලා බණ කියන්න ලේසියි, ඒත් නියමිත වෙලාවට බස් එකක් නැතිව මහන්සි වෙලා තමන්ගේ නිවසට යන්න බලන අසරණ මිනිස්සුන්ට වෙන මොනවා කරන්නද?” යනුවෙන් ඉදුරුගේ මිතුරන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියටවත් මෙවැනි ඛේදවාචකයන් සිදුනොවීමට වගබලා ගන්නා ලෙසයි. මහමඟදී තාරුණ්‍යයේ බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු කරගත් ඒ ආදරණීය සහෝදරයාට, ඉදුරු පැහැසර පුතුට අජරාමර නිවන් සුව අත්වේවා! එමෙන්ම, තනි වූ ඒ පියාට සහ සොහොයුරාට මේ දරාගත නොහැකි ශෝකය දරාගැනීමට ශක්තිය ලැබේවා!






