Press "Enter" to skip to content

ඉතාලි පොලිසියේ සිටි එකම ශ්‍රී ලාංකිකයා නිවසේදී වෙඩිවැදී මරුට

ඝාතනයක්ද? දිවි නසා ගැනීමක්ද? – පොලිසියෙන් විමර්ශන

ඉතාලි පොලිස් රාජකාරියේ නිරතව සිටි එකම ශ්‍රී ලාංකික නිලධාරියා වූ ෂෙහාන් ප්‍රනාන්දු මහතා මිලානෝ නුවර පිහිටි සිය නිල නිවස තුළදී අබිරහස් අන්දමින් වෙඩිවැදී මියගොස් සිටියදී සිරුර සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් සිටි 27 හැවිරිදි ෂෙහාන් වෙන්නප්පුව, තල්දෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිලානෝ නුවර පිහිටි පොලිස් නිල නිවාසය තුළ ෂෙහාන් ප්‍රනාන්දු මහතාගේ සිරුර තිබී සොයාගත් බවත් සිරුර අසල ඔහුගේ රාජකාරි ගිනිඅවිය ද තිබී හමුවූ බවත් පොලිසිය කියයි.

ෂෙහාන් මහතා සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබා ගත්තේද? එසේත් නොමැති නම් මෙය ඝාතනයක්ද? යන්න සම්බන්ධයෙන් ඉතාලි පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

ෂෙහාන් ප්‍රනාන්දු මහතා ඉතාලි පොලිස් නිලධාරීන්ගේ මෙන්ම එරට ජනතාවගේ ද ගෞරවාදරයට පාත්‍ර වූ නිලධාරියෙකි. ඉතාලි පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරන ලද එකම ශ්‍රී ලාංකිකයා මොහු වීම නිසා ඔහුගේ මරණය සැලවීමත් සමග ඉතාලි බලධාරීන් මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ද මහත් කම්පනයට පත්ව සිටිති.

ඒ මහතාගේ දෙමාපියන් ද ඉතාලියේ පදිංචිව සිටින අතර ඔවුහු ද සිය පුතුගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටිති.
ෂෙහාන් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27දා) ඉතාලියේ මිලානෝ නුවරදී සිදුකිරීමට නියමිත බව පැවසේ.