Press "Enter" to skip to content

කාටත් අමතක වුණු අරගලයෙන් කෝට් ගැලවුණු පොලිස් සාජන් අමරදාස

මේ වන විටත් ස්ථිර රැකියාවක් නෑ ඒත් මට දුකක් නෑ…

එදා 2022 වසරේ අප්‍රේල් 14 වැනි සිංහල හින්දු අලුත් අවුරුදු දිනයයි. අමරදාස උඩවලවේ සිට යතුරුපැදියෙන් පැමිණියේ රත්නපුරයේ සිට කොළඹ බලා යන බස් රියකට ගොඩ වීමේ අරමුණිනි. වෙනදා මෙන් අතොරක් නැතිව ගමන් ගන්නා වාහන පෙළ අද පෙනෙන්නට නැත. ඉඳහිට ගමන් කරන පෞද්ගලික වාහනයකට මඟ සිටින මඟීන් කිහිප දෙනකු නංවා ගනී. හදිසියේ රත්නපුර ටවුමේ නතර කළ නාඳුනන කෙනකුගේ වෑන් රියක නැඟ ගැනීමට අමරදාසටත් වරම් ලැබිණි. එහෙත් ඒ පෞද්ගලික වාහනයෙන් අවිස්සාවේල්ලෙන් බැසගැනීමට ඔහුට සිදු විය.

එතැන් සිට කොළඹට යන අතක් සොයමින් ඔහු පැය කිහිපයක් බස් නැවතුම වටේ කරකැවිණි. ඉන් පසුව නුවරඑළියේ සිට වේගයෙන් ඇදී එන බස් රථයක් අවිස්සාවේල්ල ටවුමේ නතර කෙරිණි. පාපුවරුවේ එල්ලී සිටින මිනිසුන් අතරට අමරදාසත් එකතු විය. හීයක වේගයෙන් කොළඹ බලා යන බස් රථය පාන්දර 4.30ට පමණ කොළඹ කොටුවට ළඟා විය.

අරගල බිමේදී

අරගල බිමේදී

රාත්‍රී වැඩ මුරය නිමවා නිවෙස් බලා යන බොහෝ මගීහු ගමන් විඩාව නිසාම කොළඹ කොටුව ප්‍රධාන බස් නැවැතුමේ නින්දට වැටී සිටියහ. අමරදාසටත් කොළඹ බලා පැමිණි ගමන දුෂ්කර වුවත් ඔහු ගමන් විඩාව එතරම් තැකුවේ නැත. පැමිණි බලාපොරොත්තු අත්නොහළ ඔහු ප්‍රධාන බස් නැවැතුමේ කෙළවරක ඇති ජල කරාමයකින් මුහුණ-කට සෝදා ගත්තේය. තද කළුවර පහව යන තෙක් ඔහු කොළඹ කොටුවේ බංකුවක් මත හිඳගත්තේය. උදෑසන පහට පමණ ඔහු ගෝල්ෆේස් පිටිය දක්වා පයින්ම ගියේය. අරගලකරුවෝද කූඩාරම්වල නිදාසිටියහ. භික්ෂුවක් පමණක් සිටින කූඩාරමකට වී අමරදාසත් හොඳහැටි නිදාගත්තේය. ඒ නින්ද ඔහුට‌ වෙනදාට වඩා සුවබර විය; නිදහස් විය.

ඔහු අවදි වන විට අරගල බිමටත් බලාපොරොත්තුවේ අරුණලු උදා වී තිබිණි. අඳුරු සෙවණැලි පහව ගොස් නව අවුරුද්දට සුබ මොහොත උදා වන තුරු සියලුදෙනා බලා සිටියහ. ජාති ආගම් භේදයකින් තොරව රටම අවුරුදු සිරියෙන් අසිරිමත් වී තිබිණි. උතුරු දෙසින් තල් ගස් සෙවණේ දෙමළ මිනිසුන්ද, දකුණේ සිංහල මිනිසුන් මෙන්ම ගෝල්ෆේස් අරගල බිමෙහි රැස් වූ පිරිස්ද අවුරුදු සමරමින් සිටියේ එක පවුලක් සේය.

අරගල බිමෙන් වෙනදාට ඇසෙන සටන් පාඨ ගෝෂාව නෑසුණේය. තැනෙක කැවුම් කිරිබත් පිළියෙල කරන පිරිසය. අවුරුදු ගී අසිරි දසත සැරිසරන්නේය. පසෙකින් කැවිලි පෙවිලි තොග පිටින් අරගල භූමියට ගෙන දෙන පිරිස්ය. රබන් ගසන පිරිස් තවත් පසෙකය. අරගල බිමේ එක් කැවිලි පිරුණු මේසයක් අසලට අමරදාස පැමිණියේය. පොලිස් නිල ඇඳුමින් සැරසී දින කිහිපයක් පුරා අඛණ්ඩව සේවයේ නියුතු වී සිටි පොලිස් සැරයන්ගේ විඩාබර මුහුණ දෙස කිසිවකු බැලුවේ නැත. අමරදාස පැමිණියේ තීරණාත්මක තීන්දුවක් ගෙන බව ඔවුහු නොදනිති.

නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීහුද නිරන්තරයෙන් භූමියේ ගැවසෙති. අමරදාස අවුරුදු කෑම මේසයෙන් කැවුම් කිරිබත් අනුභව කිරීම නිසා ඇතැමෙක් ඔහු දෙස බලන්නට වූහ. දින කිහිපයක් සිරිපාද වන්දනාකරුවන් ගැවසෙන ඉසවුවේ රාජකාරි කළ ඔහු පැමිණියේ පැවති සමාජ දේශපාලන ක්‍රමවේදයට විරුද්ධව නැඟී සිටින්නවුන්ට සහය දැක්වීමට බව ඔවුහු නොදනිති.

ඔහු ආහාර අනුභවයෙන් පසුව නිහඬව මඳක් කල්පනාවට වැටුණේය. ඔහුගේ තොල් වියළී ගොසිනි; මුහුණ දැඩි වී ඇත; දෑත් වෙව්ලන්නට විය; දෙනෙත් රත් පැහැ වී ඇත. ඔහු කේන්තිය පාලනය කළේය. හඬ එක් වරම අවදි විය:

හිටපු පොලිස් සැරයන් අමරදාස

හිටපු පොලිස් සැරයන් අමරදාස

“මුං සම්පූර්ණයෙන්ම හොරු. මුං කරන්නේ බොරුවක්. මුන් එළවලා දැමිය යුතුයි. ඒ නිසා හැමෝම එළියට බහින්න.” ඔහුගේ හඬ මඳක් රළුය. සියල්ලෝම මේ අරුමය දෙස පුදුමයෙන් බලා සිටියහ. මොහොතක නිහැඬියාවක් ප්‍රදේශය පුරා පැතිරෙන්න විය. ඔහු දැඩි ස්වරයකින් කෑගසන්න වූයේ අරගලකරුවන් මවිතයට පත් කරවමිනි. නිශ්ශබ්දතාව බිඳ දමමින් මුහුදේ රළ නැඟෙන ශබ්දයත් ඇසෙන්නේය. පොලීසියට සහ හමුදාවට අයත් රථ “ක්‍රීස්” හඬ නඟමින් අරගල බිමට ඔබ්බෙන් ඇති මඟෙහි තිරිංග තද කරන හඬ වෙනදාට වඩා පැහැදිලිව ඇසිණි.

විනාඩි කිහිපයක් ගෙවී යද්දී සැරයන්වරයාද එක්වරම අරගලකරුවන් අතරට එක් වීමත් සමඟ සියලු අරගලකරුවෝ ඇසිල්ලකින් එතැනට ඇදුණහ. ඔවුහු ජය ඝෝෂා නඟන්නට වූහ. අවට සිටි සියල්ලෝම මේ සැරයන්වරයා වැලඳගත්හ. ඔහු නිල ඇඳුමින් සැරසී සිටින අන්තිම තත්පර කිහිපය බව සියල්ලන්ටම වැටහෙන්න ඇත. රට පුරා පවතින වාතාවරණය ඔහු දනී. නිවෙසේ තනිවම සිටින ආදරණීය බිරිය, දරුවන් සිහිපත් වන්නට ඇත. බිරිය හා දරුවන් ඔහුගේ දෑස් ඉදිරිපිට මැවී පෙනෙන්නට ඇත. නිල ඇඳුම ලාගත් දින පටන් රටට සහ අහිංසක ජනතාවට සේවය කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම කරන ලද කාර්යයන් සිහිපත් වන්නට ඇත. විනාඩි දෙක තුනක් තුළදී මේ සිදු වුණ සියල්ල මනසට දරාගත නොහැකි තරම් වන්නට ඇත. එහෙත් මේ සුළු වේලාව තුළ ඔහුට සියල්ල අමතක විය. රැකියාව අහිමි වන බවත්, තමාට පොලීසියට, උසාවිය යෑමට සිදු වන බවත් ඔහු නොදැන සිටියා නොවන්නට ඇත. අමරදාසට තමා ඉදිරිපිට සෑහෙන පිරිසක් රැඳී සිටිනු දක්නට ලැබිණි. රටේ හෙට දවස වෙනුවෙන් බලාපොරොත්තුවේ දෑස් දල්වා පොලිස් සැරයන් අමරදාස සිය නිල ඇඳුමින්ම අරගල බිමට එකතු වූයේ එලෙසිනි.

අයුක්තිය, අසාධාරණයට එරෙහිව අතට ගත් ගිනි අවිය සහ නිල ඇඳුම බිම තැබුවේය. ඔහු රටට ජාතියට බෙහෙවින් ආදරය කළේය. අද රැකියා අහිමි වී සිටියත් තමන් එදා අරගල බිමට එක් වීම ගැන අද ද ඔහු පසුතැවෙන්නේ නැත.

අරගල බිමේදී තම කෝට් ගලවා දැමූ මේ පොලිස් සැරයන් කවුද? ඔහුට අද සිදු වී ඇත්තේ කුමක්ද? ඔහු සොයා ‘සිළුමිණ’ අපි දුර ගමනක් ගියෙමු.

වීරසිංහ මුදියන්සේලාගේ අමරදාස නම් වූ ඔහු 2020 අප්‍රේල් මස වන තෙක් රාජකාරි කටයුතුවල නිරතව සිටියේ කුට්ටිගල පොලීසියේය. ශ්‍රීපාද සමය උදා වී තිබූ බැවින් ඔහු සිරිපාගම පොලීසියට අනුයුක්ත කරනු ලැබ සේවය කරමින් සිටියේය. මේ ඔහුගේ කතාවයි.

“මේ වන විටත් ජීවත් වෙන්න කිසිදු ස්ථිර රැකියාවක් නෑ. මගේ රැකියාව තවම හම්බ වුණේ නැහැ. ඒත් මට ඒ ගැන දුකක් නැහැ. දැන් රට හොඳයි. මේ වෙනසට මම කැමැතියි.”

ඔහු කතාව ආරම්භ කළේය.

“අරගලය කාලයේ තිබුණ වාතාවරණය අපි දැක්කා. හැම තැනම පෝලිම්. කිරි පිටි ටිකක් ගන්න බැහැ. ගෑස් නැහැ. තෙල් නැහැ. මුකුත් නැහැ. පොඩි කාලයේ ඉඳලා අපට දුක විතරයි උරුම වෙලා තිබුණේ. මම ඉපදුණේ අම්පාර ඉඟිනියාගල. පසු කාලීනව 1975 අවුරුද්දේ උඩවලව පදිංචියට එනකොටත් මම පොඩියි. ඒ කාලයෙත් පාන් පෝලිමට අපේ ගෙදර ළමයි ඔක්කෝම ගියා.

මේ 2022දී මමත් පෝලිමේ; මගේ පුතත් පෝලිමේ. අපේ රටට එහෙම වුණේ ඇයි? මගේ හදවත මේ ප්‍රශ්නයෙන් කැකෑරෙමින් තිබුණේ. අපි සාමාන්‍ය පෙළ කරනකොටත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. අදත් සංවර්ධනය වෙමින් පවතින රටක්; ඒ විතරක් නොවෙයි, බංකොලොත් රාජ්‍යයක් බවටත් පත් වුණා. මට පිරිමි දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අලුතින් ගෙයක් හදන්න ගඩොල් මමම පිච්චුවා. වැලි ටිකත් මම ම ගොඩ දාගත්තා. 2021 සැප්තැම්බර් මාසයේ රු. 990ට තිබුණ සිමෙන්ති කොට්ටය, රු. 400 ගණනකට තිබුණ කම්බිය මාස ගණනකින් ගිහින් බැලුවාම, ඒ කියන්නේ 2022 දී සිමෙන්ති කොට්ටය 3,100ට ගිහිල්ලා. කම්බි 1,700කට ඉහළ ගිහින් තිබුණා. අපේ බලාපොරොත්තු සුන් වෙලා ගියා. අපි මේ රටේ කිසිදු දෙයක් හොරා කාලා නොවෙයි අපට එහෙම වුණේ. මාරුවෙන් මාරුවට හොරා කාපු උන් නිසා අපට මේ කල ගියේ. ඇත්තටම දුකක් ඇති වුණා.

හිටපු පොලිස් සැරයන් අමරදාස

හිටපු පොලිස් සැරයන් අමරදාස

“අරගල කාලයේ මම සිරිපාගම පොලීසියට අනුයුක්තව රාජකාරි කළේ. ඒ රාජකාරි කරන අයට දින හතරක් එක දිගට වැඩ කළාම විවේකයක් ලැබෙනවා. ඇඳුම් පැලඳුම් සෝදගෙන එන්න නිවෙසට යන්න පුළුවන්. සිරිපාගම පොලීසියේ රාජකාරි කරන එක සෑහෙන්න අමාරුයි. තද සීතල නිසා. 2022 අප්‍රේල් 14 මම ඇඳුම් බෑග් එකත් අරගෙන ගෙදර ගියා. ඒත් මට ගෙදර ඉඳන් අවුරුදු කන්න හිතුණේ නෑ. ඇත්තටම අවුරුදු කන්න විදියක් තිබුණේ නෑ. අපට විතරක් නෙවෙයි මුළු රටටම අවුරුදු කන්න විදිහක් නෑ. මම අරගලයට ගියේ රස්සාව නැති වන බව දැනගෙන. ඒත් මගේ හිතේ ඇති වෙලා තිබුණ පීඩනය හිර කරගෙන හිටිය නම් මම ලෙඩෙක් වෙනවා. ඒ පීඩනය තමයි මාව එතැනට යන්න පෙලඹුවේ.

“අරගල භූමියට ඇවිත්, පොලිස් යුනිෆෝම් එකක් ඇඳගෙන මම කෑගහද්දී අරගලකරුවන් මාව වට කරගත්තා; මාව බදාගෙන මම කරපු දේ ගැන සතුට පළ කළා. බොලීවියාවේ හමුදාවයි පොලීසියයි එකතු වෙලා දූෂිත පාලකයන් එළවලා දැම්මා. මම එළියට බැස්සේ අන්න ඒකත් හිතේ තියාගෙන. ඔහොම ටික වේලාවක් ඉඳලා ආපහු ඇඳුම් මාරු කරගෙන මම ගෙදර යන්න කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකට ගියා. ගිහින් බස් එකක් එනකල් ඉන්දැද්දි දෙකට විතර තමයි සිවිල් ඇඳුම් ඇඳගත්ත පොලිස් ටීම් එකක් මාව අත්අඩංගුවට ගන්න ආවේ. එවකට හිටපු උසස් නිලධාරියෙක් තමයි නියෝග කරලා තියෙන්නේ මාව අත්අඩංගුවට ගන්න කියලා. ඒ අයට අද දිට්ටධම්මවේදනිය කර්මය පටිසන් දීලා. ඒ අය යටතේ ක්‍රියාත්මක විශේෂ ඒකකයක කණ්ඩායමක් ඇවිත් තිබුණේ. ඒ අයගෙන් දෙන්නෙක් මට ගැහුවා. ඇයි මට ගහන්නේ කියලා මම ඇහුවා. මම කරපු වරද මොකක්ද මම ඇහුවා. එතන හිටපු එක්කෙනෙක් මගේ අයිඩෙන්ටිය ඉල්ලුවා පොලීසියෙද කියලා බලන්න. පස්සෙ මාව පොලීසියකට එක්කගෙන ගියා.

“ඒ.එස්.පී.ලා දෙන්නෙක් ඇවිත් මම මේකට එන්න හේතුව ඇහුවා. මම කිව්වා පීඩනය දරාගන්න බැරි නිසයි ආවේ. සල්ලි ටිකක් එකතු කරලා ගෙයක් හදන්න යද්දි බඩු මිල අහස උසට නැඟලා. මේව දරාගන්න බැරි නිසා අරගලයට ආවේ කියලා. ඉන් පස්සේ මාව උසාවි දැම්මා. පොලිස් ආඥා පනතේ තියෙන වගන්ති කිහිපයකට අනුව චෝදනා ගොනු කරලා තිබුණා. ලක්ෂය බැගින් ශරීර ඇප තුනක් මත මාව මුදාහැරියා. පොලිස් සිර මැදිරියේ ගෙවපු රාත්‍රියේ පමණයි මට සිරගතව ඉන්න සිද්ධ වුණේ. “පොලිස් දෙපාර්තමේන්තුව මගේ වැඩ තහනම් කළා. මට විරුද්ධව විනය පරීක්ෂණයක් කරනවා කියලා මට කොළඹ එන්න කියලා දැනුම් දුන්නා. උඩවලව ඉඳලා කොළඹ එන්නයි, විනය පරීක්ෂණයට නීතිඥවරුන් අල්ලන්නයි පුළුවන් ආර්ථික තත්ත්වයක් මට තිබුණේ නෑ. ඒ නිසා මම කුට්ටිගල පොලීසිය හරහා දැනුම් දුන්නා මට දීර්ඝ දිනයක් දෙන්න කියලා.

“රැකියාව අහිමි වෙලා ටික දවසක් යද්දි ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. දැන් මම අහුවෙන රැකියාවක් කරනවා. ජීවත් වෙන්න දරු පවුල රකින්න මම මොනා හරි කරනවා. කාලයක් පතලක වැඩ කළා. පැය හත අට නෙවෙයි දහය දොළහ පවා ලයිට් කැපුව නිසා පතල ඇතුළේ වැඩ කරන්න බැරි වුණා. ඉන්ධන හිඟය නිසා පතලේ වතුර ඉහින්න මෝටර් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. පතල වැහිලා ගියා.

“අගාධයට වැටෙන්නට ගිය රට දැන් ගොඩ එමින් තියනවා. මිනිසුන්ගේ පීඩාව නිසා පාරට බැස්සාම ඒ අයට පහර දුන් අය අද දඬුවම් විඳිනවා. මට රැකියාව නැති වුණත් රටට යුක්තිය ඉටු වෙමින් තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් මම ලිවුවා මගේ කතාව. තවම පිළිතුරක් නැහැ. අපේ දරුවන්ට හොඳ අනාගතයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මගේ ඇඟේ පතේ හයිය තව තියෙනවා. පුළුවන් කල් මෙහෙම යනවා. ගමේ හැමදාම කුලී වැඩත් නෑ නේ. ඒ නිසා මම රස්සාවක් හොය හොයා යනවා සමහර කාලවලට. වරායේ කුලී වැඩ කළා. කොටිකාවත්තේ ටයිල් අල්ලන තැනක අත්උදවුකරුවකු විදියට තාවකාලික රැකියාවක් ලැබුණා. ටයිල් අරගෙන පඩිපෙළ දිගේ උඩ තට්ටුවට නඟිද්දි පය ලිස්සලා වැටුණා. මගේ අතේ ඇඟිලි දෙකක් කැඩිලා ඒවා කපලා අයින් කළා. දණහිසත් පැන්නා. ඒ විදියට මම ආබාධිතයෙක් වුණා…”

අමරදාස මඳක් නිහඬව කල්පනාවට වැටුණේය.

“ඒත් කමක් නෑ. අපි නොදැකපු ලෝකයක් අපේ රටේ වර්තමාන දරුවන්ට හරි ලැබෙනවා නම්. ඒ කාලේ මම ආධුනික කොස්තාපල්වරයකු ලෙස පවරන හැම රාජකාරියක්ම හරි කැමැත්තෙන් කළේ. යුද්දෙත් එන්න එන්නම වැඩි වෙද්දි පොලී‍සියටත් යුද්ධ කරන්න සිද්ධ වුණා. යාපනය කෝපායි, වවුනියාව චෙට්ටිකුලම්, කන්කසන්තුරේ ඉලවාලි පොලිස් ස්ථානවල මම රාජකාරි කළා. යුද්ධය අවසන් අදියරට එද්දී මම මන්නාරම ප්‍රධාන සැපයුම් මාර්ගයේ ආරක්ෂක රාජකාරිවල යෙදිලා හිටියේ.

“රටේ දියුණුව පතාගෙන අරගලයට ගිහිල්ලා රස්සාව නැති වෙච්ච එක ගැන මම පසුතැවෙන්නේ නෑ. දැන් රටේ නායකයා අපේ කෙනෙක්. රට යන අත හොඳයි. ජනාධිපතිතුමා කරගෙන යන වැඩපිළිවෙළ හොඳයි.

“මට දැන් වයස 57යි. විශ්‍රාම යන්න අවුරුදු 3යි තියෙන්නේ. නැවත මට රැකියාව දෙන්න කියලා මම ජනාධිපතිතුමාට, පොලිස්පතිතුමාට අභියාචනා ලිවුවා. මම විතරක් නොවෙයි, පැවති රජය පෙරළන්න රජයේ ආයතන කීයක අය අරගල බිමට ආවාද? නර්ස්ලා පවා නිල ඇඳුමින් ආවා. ඉන්ටඩික් කරලා තිබුණ අයට අපේ රජය පත් වුණාට පස්සේ ආපහු රස්සාව දුන්නා.”

1967 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනිදා මෙලොව එළිය දකින අමරදාස මූලික අධ්‍යාපනය ලබන්නේ තිඹුල්කැටියේ පාසලෙනි. සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වන ඔහු වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන්නට ගොඩකවෙල රාහුල මහා විද්‍යාලයට ඇතුළත් විය.

1989 වර්ෂයේ ජුනි මාසයේ 15 වැනිදා ආධුනික කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක් වන්නේය.‍

ඇඹිලිපිටියේ පොලිස් පුහුණු අභ්‍යාස ආයතනයෙන් මූලික පුහුණුව ලබන අමරදාස, පර්යන්ත පුහුණු පාඨමාලාව හදාරන්නේ ඇල්පිටිය පුහුණු පාසලෙනි. මේ පුහුණුවීම්වලින් අනතුරුව ගොඩකවෙල පොලීසියට අනුයුක්ත වන්නේය. කොස්වැටිය ගමේ පදිංචිකාරියක වූ තුෂාරි මංගලිකා කරුණාරත්න සමඟ 1994 වර්ෂයේදී විවාහ දිවියට ඇතුළත් වූ අමරදාස පුතුන් තිදෙනකුගේ පියෙකි. පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 37ක සේවා කාලයක් සපුරා ඇත. ඔහු මේ රටේ දේශපාලන පෙරළියක් වෙනුවෙන් අරගල බිමට ගියේය. අද ඔහු අසරණ වී ඇත්තේ රැකියාව අහිමි වීම නිසා බව ඔහු අප සමඟ පැවැසුවේය.

රටට යුක්තිය පතා අරගල බිමට ගියේ නිල ඇඳුමට යටින් ඇති ඔහුගේ හදවත දැඩි කම්පාවට පත් වී තිබූ නිසාය. රට වෙනුවෙන් කැප වී කටයුතු කළ පොලිස් නිලධාරියකු ලෙස අමරදාසට යුක්තිය ඉටු වන තෙක් අපිදු බලා සිටිමු.

More from UncategorizedMore posts in Uncategorized »