පුංචි පුංචි සිහින ගොඩක්, ප්‍රාර්ථනා ගොඩක් එකතු වෙලා හැබෑ කරගත් සුන්දරම සිහිනය ගැන ඇය කතා කළේ නිහතමානි සතුටකිනි. ඒ හැම සිහිනයක්ම, බලාපොරොත්තුවක්ම කේන්ද්‍රගත වී තිබුණේ සිය ජීවිතයේ විශේෂතම පුද්ගලයා වටා බවද ඇය පැවසුවාය.
මේ සැබෑ වූ සිහිනය මුළුමනින්ම අයිති මගෙ තාත්තට. එයා පුංචි කාලේ ඉඳන් මං ගැන දැකපු හීනය සැබෑ කිරීමයි මගේ එකම අරමුණ වුණේ. ඒ වෙනුවෙන් මම උපරිමයෙන් කැප වුණා. මේ ජයග්‍රහණය ඒ කැප වීමේ ප්‍රතිඵලයක්.”
එසේ කියන්නී, විදුනි කීර්තිසිංහ ය. ඉකුත් සතියේ පේරාදෙණිය සරසවියේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී රන් සම්මාන 9ක් සමඟ විශ්වවිද්‍යාල ත්‍යාග 2ක්, අනුස්මරණ ශිෂ්‍යත්ව දෙකක් සමඟ ඇය හිමි කරගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ පළමු පන්තියේ ගෞරව උපාධියේ වටිනාකම තවත් වැඩි වූයේ කණ්ඩායමේ පළමු වැන්නා මෙන්ම ඒ දක්වා පැවති සෑම සමාසික පරීක්ෂණයකදීම ද කණ්ඩායමේ පළමු වැන්නා බවට පත් වීමෙනි.
දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ විදුනි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නේ ලකුණු 179ක් ලබමිනි. මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වීමට ඇයට අවස්ථාව ලැබෙන්නේ ඉන් අනතුරුවය.
“මගේ තාත්තා ප්‍රභාත් කීර්තිසිංහ තැපැල් ස්ථානාධිපතිවරයෙක්. විශ්‍රාම ලබන විට ඔහු නාවලපිටිය ප්‍රධාන තැපැල් ස්ථානාධිපති ලෙස කටයුතු කළා. අම්මා සුනීතා ජයලත් ගුරු වෘත්තියේ යෙදුණා. අපේ පදිංචිය අරණායක වුණත් තාත්තාගේ රැකියාව නිසා විවිධ ප්‍රදේශවල ඉඳලා, අවසානයේ මහනුවරට ආවා. මම ඉතිහාසය විෂයයට හරිම කැමැතියි. ඒ නිසාම පුරාවිද්‍යාඥයෙක් වෙන්න ආසාවෙන් මම හිටියෙ. ඒත් මගෙ තාත්තා මං පුංචි කාලේ ඉඳලම ආශාවෙන් හිටියේ ඩොක්ටර් කෙනෙක් වෙනවට. ඒ නිසා ආශාව තිබුණත් මට කලා විෂයයන් අතෑරලා විද්‍යා විෂයයන් තෝරාගන්න සිදු වුණා. 2016දී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී හිටියත් 2017දීත් නැවත විභාගයට පෙනී ඉඳලා, 2018දී පශු වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා.
“පළමු වසරේ ඉඳලම මම බැජ් ටොප් වුණා. සෙමෙස්ටර්ස් අටේම බැජ් ටොප් වුණා වගේම විෂයයන් 2කට හැර අනෙක් විෂයන් සියල්ලටම වගේ ඒ සාමර්ථ්‍ය ගත්තා. මට ඕනෑ වුණේ බැජ් ටොප් වෙන්නයි, තාත්තගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරන්නයි විතරයි. මේ තරම් ලොකු ජයග්‍රහණයක් බලාපොරොරත්තු වුණේ නැහැ. ඒ වුණත් ලැබුණු දේවල් ගැන හරිම සතුටුයි.”
විදුනිගේ එකම නැඟණිය ඉමේෂා කීර්තිසිංහද මේ වන විට රාගම වෛද්‍ය පීඨයේ සිසුවියකි. ඒ ගැනද විදුනි සතුටු වන්නේ නැඟණියද පියාගේ බලාපොරොත්තුව ඉටු කිරීම ගැනය. මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී ඇය අත් කරගත් ජයගහ්‍රණ අතර, පශු වෛද්‍ය විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව පිළිබඳ විශිෂ්ටත්වය සඳහා එස්.ටී. ප්‍රනාන්දු අනුස්මරණ රන් පදක්කම, උපාධියේ හොඳම කාර්යසාධනය සඳහා අරුණාචලම් චින්නයියා රන් පදක්කම, පශු වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ විශිෂ්ටත්වය සඳහා එස්.ටී. ප්‍රනාන්දු අනුස්මරණ ත්‍යාගය, අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා විශ්වවිද්‍යාල ත්‍යාග, පළමු, දෙවැනි සහ තෙවැනි අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා ඇස්ට්‍රෝන් පශු වෛද්‍ය ශිෂ්‍යත්ව සම්මානය, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යා පීඨයේ සහ සත්ත්ව විද්‍යා පීඨයේ පළමු විභාගයේ හොඳම කාර්යසාධනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිව් සවුත් වේල්ස් ආදි ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යත්වයද වේ.
මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස තාවකාලිකව සේවය කරන විදුනි, ක්ෂුද්‍රජීව විද්‍යාත්මක, පරපෝෂිත විද්‍යාත්මක සහ අන්තරාසර්ග රෝග, ඒවායේ රෝග විනිශ්චය සහ කළමනාකරණය, විශේෂයෙන් නව එන්නත් සහ ඖෂධ සංවර්ධනය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නීය.
සිය පශ්චාද් උපාධි අධ්‍යයනය තුළදී ඒ පිළිබඳ හැදෑරීමට අපේක්ෂාවෙන් පසු වන විදුනි, එසේ ලබාගන්නා දැනුමින් මවුබිමට ඵලදායි සේවයක් ඉටු කිරීමට අපේක්ෂා කරන්නීය. තමා මෙතෙක් නෙළාගත් අධ්‍යාපනයේ රන් අස්වැන්න වෙනුවෙන් විදුනි මෙරට සියලු පුරවැසියන්ට ස්තුතිය හා ගෞරවය පුද කිරීමට තරම් නිහතමානිය:
“අපට උගන්වපු මහාචාර්ය ආරියරත්න සර් නිතර කියපු දෙයක් මගේ මනසේ තදින්ම තැත්පත් වුණා. ඔහු කිවුවේ, ‘නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් නැහැ, රටේ ජනතාව හැම කෙනෙක්ම රුපියලක් හරි ඔයාලගේ අධ්‍යාපනයට වැය කරනවා. ඒ නිසා ඒ වෙනුවෙන් හරියට ඉගෙනගන්න.’ ඒක මගේ මනසේ හැම තිස්සෙම රැඳිලා තිබුණා. ජනතාවට ණයක් නොවන්න, උපරිමයෙන් ඉගෙනීමේ වැඩ කළ යුතුයි කියන අදහසින් තමයි මා වැඩ කළේ. ඒ නිසා මේ ජයග්‍රහණයේ සතුට ඒ යහපත් සිතිවිල්ල මා ඇතුළු සිසු සිසුවියන්ගේ හදවත් තුළ රෝපණය කළ ආරියරත්න සර් ඇතුළු තවත් බොහෝ දෙනකුට අයිතියි.
“ඒ වගේම මගේ ආදරණීය මවුපියන්ට, පාසල් ගුරුවරුන්ට, කථිකාචාර්ය අනිල් කළුපහන, දිනූෂා මධුමලි අක්කාට, චරිත් අබේරත්නට, පළමු වසර අධ්‍යයන අංශයේ සියලු ආචාර්ය මහාචාර්යවරුන්ට, මහාචාර්ය ඩිලාන් සතරසිංහ, මහාචාර්ය අනුරුද්ධිකා සහ කථිකාචාර්ය ධම්මික පෙරේරා, මහාචාර්ය අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය කවින්ද්‍ර විජේසුන්දර, ආචාර්ය තිළිණි අනුපමා, ආචාර්ය හර්ෂා ආරියරත්න ඇතුළු පශු වෛද්‍ය පීඨයේ සියලු ආචාර්ය මහාචාර්යවරුන්ටත් ආචාර්ය නිල්මිණි ජයසේන, ආචාර්ය නිරෝමි ජයසේකර, ආචාර්ය මදුර මුණසිංහ, ආචාර්ය බිමල්කා, ආචාර්ය එස්. ලොකුගලප්පත්ති, මහාචාර්ය අනෝජා, මහාචාර්ය ජයසූරිය, වෛද්‍ය රොෂාන් මඩලගම ඇතුළු මට සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිවන්ත වනවා.
“විද්‍යාඥවරියක් වෙලා රටට ලෝකයට සේවය කරනවා වගේම හොඳ බිරියක්, මවක් වීම මගේ අනාගත බලාපොරොත්තුවයි. එහෙත් දැනට බිරිය, මව කියන චරිත පැත්තකින් තියලා මම මගේ පශ්චාද් උපාධිය වෙනුවෙන් මුළුමනින් කැප වනවා. විශේෂයෙන් අම්මා තාත්තා මා වෙනුවෙන් කළ කැප වීම් ඉතා විශාලයි. ඒ අතරිනුත් මගේ අම්මා කිසිවක් ගැන වැඩි බලාපොරොත්තු නැතිව ජීවත් වන සරල කෙනෙක්. ඒත් අම්මා මං වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා; මට ශක්තියක් වුණා. ඒ වගේම මගේ සැමියා මාව ශක්තිමත් කරමින් අධ්‍යයන කටයුතු සාර්ථක කරගැනීමට උදවු කළා.”
ජයග්‍රහණය කරා පැමිණි ගමනේදී මුහුණ දුන් අභියෝග ගැනද විදුනිගෙන් විමසුවෙමු.
“විශේෂ අභියෝගවලට මුහුණදුන්නේ නැහැ. එහෙත් ඩෙංගු රෝගය වැලඳීම නිසා පාඩම් වැඩ නිසියාකාරව කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මම වරක් විශාදය තත්ත්වයට මුහුණදුන්නා. ඒත් නැවත පාඩම් කටයුතුවලට යොමු වීමෙන් පසු ඒ තත්ත්වය සමනය වුණා. ඒ වගේම අවසන් වසරේදී මගේ සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔහු මං වෙනුවෙන් පෙනී සිටිමින් මට ශක්තියක් වුණා. ඔහු එදා වගේම අදත් මගේ හොඳම මිතුරා. එය මට විශාල ශක්තියක්…” පෞද්ගලික ජීවිතයේදීත් සුරතල් බළලුන්ට සහ සුනඛයන්ට ආදරය කරන විදුනි පවසන්නේ සතුන්ට කතා කළ නොහැකි වුවද ඔවුන් වේදනා විඳිනු දකින විට එය තමාටද වේදනාත්මක අත්දැකීමක් වන බවයි:
“සමහර වෙලාවට මට දැනෙනවා ඒ සතා වැඩිකල් ජීවත් වන්නේ නැහැ කියලා. මම ආස නෑ ඒ හැඟීමට. ඒක හරි වේදනාවක්. මම වැඩිපුරම කැමැති උගන්වන්නයි. ප්‍රශ්න, කරදර, බාධක ආවත් ඒවාට මුහුණදෙමින් තමන්ගේ අරමුණ කරා යන ඕනෑම කෙනකුට සාර්ථකත්වය අත් කරගත හැකියි.”






