Press "Enter" to skip to content

වාහන තහනම ඉවත් කිරීමට තීරණයක්: කමිටු නිර්දේශය ජනපතිට

වාහන ආනයනය කිරීමට පනවා තිබූ තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ආරංචි මාර්ග වාර්තා කරනවා.

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල විසින් නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා වාහන ආනයනය කිරීමට පනවා ඇති තහනම ඉවත් කිරීමට අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කරනු ඇතැයි ද සඳහන්.

මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන්න අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

එමෙන්ම මෙම තහනම ඉවත් නොකළහොත් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලට රජය ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වනු ඇතැයිද එම නිසා මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද එම කමිටුව විසින් තීරණය කර ඇති බවත් වාර්තා වෙනවා.

ඇමරිකානු ඩොලරයේ අගය දිගු කාලයක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම ඉවත් කිරීම වැදගත් වනු ඇතැයිද නමුත් ආනයනය කරනු ලබන වාහන මාදිලි සහ එම වාහන වල නිෂ්පාදිත වර්ෂ තවමත් තීරණය කර නැතැයිද භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 800ක් ශ්‍රී ලංකාවට අහිමි වුවත් ඉන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 340ක බදු ආදායමක් රජයට ලැබෙනු ඇතැයිද එමගින් ලබන වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයිද සඳහන්.