Press "Enter" to skip to content

කොරියානු රැකියා අපේක්ෂකයින්ට සුබ පණිවිඩයක්

කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණ ද එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව එකඟතාව පළ කර තිබේ.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර අද (අප්‍රේල් 26) උදෑසන පැවති සාකච්ඡාවේදී මේ එකඟතාව පළ කර ඇත.

කොරියානු භාෂා ප්‍රවීණතාව සමත්ව දැනට රැකියා අපේක්ෂාවෙන් සිටින මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිකයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට ද මෙහිදී එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව, කර්මාන්ත අංශයේ සිට නැව් ඉදි කිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සඳහා යොමු කිරීමට නියමිත ය.

එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාරු වීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සඳහා අයැදුම් කළ යුතු වනු ඇත.

ලබන වසරේ සිට ඊ9 වීසා ඛාණ්ඩය යටතේ නැව් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත.

ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය, දැනට පවත්වන පරිඝණක පදනම් කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පවත්වන බවට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.