Press "Enter" to skip to content

ඡන්දය මාස හයකට කල් දැමීමේ සූදානමක්.. තවත් දින 5කින් සිදුවන්න යන දේ…

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම නියමිත පරිදි මාර්තු මස නව වැනි දින පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නොලැබුණහොත් ඡන්දය මාස හයකට කල් දැමීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි. මැතිවරණ පනතට අනුව එලෙස මැතිවරණයක් කල් දැමිය හැකි වන්නේ දින 21කට වඩා වැඩි කාලයක් සඳහාය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන 23 වැනිදා යළි විභාග කිරීමට නියමිතය.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි විසින් නියමිත දිනට තැපැල් ඡන්ද පත්‍රිකා ලබා නොදීම හේතුවෙන් මෙම මස 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය කල් දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් ලබාදෙන බව එකඟ වී සිටි බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි. තැපැල් ඡන්දය සලකුණු කරන දිනය පසුව දැනුම් දෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය. මේ අතර පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් ලබාදිය නොහැකි බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ(17 ) දැනුම් දී ඇත. ඒ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ කොමිෂන් සභාව අතර පැවැති සාකච්ඡාවකදීය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව මුදල් ලබා නොදීම හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම නිසා මැතිවරණය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ලබන බදාදා මෙම මෝසම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පළාත් පාලන මැතිවරණ කටයුතු අදාළ නීතියට, ව්‍යවස්ථාපිතව කරගෙන යන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දී තිබුණි.

නමුත් මැතිවරණයට අදාළ කටයුතු කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවීම හේතුවෙන් මැතිවරණ කටයුතු ව්‍යවස්ථාපිතව කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති නිසා මෙම මෝසම ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවැසීය.

මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීම හා ඡන්දපත්‍රිකා මුද්‍රණය නොකිරීම නිසා මැතිවරණය කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවී ඇතැයිද මේ බව මෝසම මගින් අධිකරණයට පැහැදිලි කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හරහා අදාළ මෝසම ඉදිරිපත් කරන බවද සභාපතිවරයා පැවැසීය.

පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබෙන පෙත්සම මෙම මස 23 වැනිදා විභාගයට ගැනීමට නියමිත බැවින් එම තීන්දුව අනුව මාර්තු 09 වැනිදා මැතිවරණය පිළිබඳව තීරණය ගැනීමට සිදුවන බවද සභාපතිවරයා කීවේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මාස කීපයකින් කල් ගියහොත් නිවාඩු දමා මැතිවරණයට තරග කරන රජයේ සේවකයන් විශාල පිරිසකට දැඩි ආර්ථික ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙතැයි අනාවරණය වේ. රජයේ සේවකයන් 3000ක් පමණ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා නිවාඩු ලබාගෙන සිටිති. ​යම් හෙයකින් මැතිවරණය කල් ගිය​හොත් ඔවුන්ට එම කාලය තුළදී වැටුප් නොලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මීට පෙරදීද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වසරකින් පමණ කල් යෑම හේතුවෙන් එම මැතිවරණයට ඉදිරිපත් වූ රජයේ සේවකයන් සිය වැටුප් ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර විසඳාගනු ලැබුවේ වසරක පමණ කාලයකට පසුවය.

අරුණ

More from PoliticalMore posts in Political »