පොලිස් සැරයන්වරයෙකු වන උපුල් වගා කටයුතු කෙරෙහි දක්වන්නේ දැඩි ඇල්මක්.
නිවසේ විවේකිව ගෙවන කාලයෙන් වැඩි වේලාවක් ගෙවත්තේ එළවළු වගාව වෙනුවෙන් මිඩංගු කිරීමට ඔහු පුරුදුව ඇත්තේ එබැවින්.
බිම සකසා පාත්ති දැමීම, පැළ සිටුවීම, පළිබෝධකයන් ඉවත්කිරීම, ජලය හා පොහොර එකතු කිරීම ආදියෙහි මනා දැනීමක් තිබෙන ඔහු එම කටයුතු දින චාර්යාවේ කොටසක් කරගෙන තිබුණා.
උපුල්ගේ ගෙවත්තේ සරුවට වැඩුණු එළවළු වර්ග අතර මෑ වගාවට හිමිවූයේ ප්‍රධාන තැනක්.
දකින දකින කාගේත් ඇස්වහ කටවහ නොඅඩුව භාජනය වන තරමේ සශ්‍රීක මෑ වගාවක්වූ එයින් සතියකට සෑහෙන තරමේ අස්වැන්නක් නෙළා ගැනීමේ හැකියාවක් පවතිනවා.
එහෙත් ඔහුගේ එක් පුරුද්දකට බිරිඳ නිරතුරුවම දොස් පැවරුවා.
ඒ පළිබෝධකයන්ගේ උවදුරු නිසා කුරුවී ගිය හෝ මැළවී ගිය අතු රිකිලි කටින් කඩා ඉවත් කිරීම.
“ඇයි අනේ පණුවෝ කාපුවා කටින් කඩන්න හොඳද ?… පිහියක් අරගෙන ඔය වැඩේ කරන්නකෝ” යැයි චන්ද්‍රා, උපුල්ගේ මෙකී ක්‍රියාව දුටු දුටු විට පවසනවා.
ඇතැම් විට කුඩා ප්‍රමාණයේ පිහියක්ද ඔහු වෙත ගෙනැවිත් දෙනවා.
එහෙත් උණ පුරුකේ දැමුවද බලු වලිගයක ඇද නෑරෙන්නාක් මෙන් ඔහු නැවත සිදුකරන්නේද එයමයි.
ගෙවත්තේ වැඩි කාලයක් ගත කළ දිනවලදී ඇඟපත සෝදාගත් විට උපුල්ටත් චන්ද්‍රාටත් ඇඳට වැටුණු සැණින් තද නින්දකට වැටෙන්නේ මහ හඬින් ගොරවමින්.
මවගේත් පියාගේත් මේ ශබ්ද පුජාවේ හඬ අසල කාමරවල නිදන දුව පුතාට හොඳහැටි පුරුදුයි.
දිනක් සවස්වරුවේ සම්පූර්ණ වගාව සඳහාම ජලය දැමීමට කටයුතු කළ උපුල් සහ චන්ද්‍රා අධික වෙහෙසත් සමගම තරමක් වේලාසනින් නින්දට වැටුණේ රාත්‍රි ආහාරය පවා හරිහැටි නොගෙනයි.
දත්කුරු කමින් සුව නින්දේ පසුවු උපුල් සිහිනයෙන්ද තම සරුසාර මෑ වගාව වෙත ගොස් සිටියා.
මද වේලාවක් නොමේරූ දඹළ කරල් පිරික්සමින් සිටි ඔහු කෘමි සතුන් විසින් කා දමන ලද මෑ වැළේ අතු රිකිලි කටින් කඩා ඉවත් කිරීමට පටන්ගත්තේ පළිබෝධකයන්ගෙන් නොකඩවා වගාවට එල්ලවන හානි පිළිබඳව ඇතිකරගත් දැඩි කෝපයද සමගයි.
ඒ අතර ඔහු දුටුවේ ඉතා හොඳින් වැඩුණ මෑ කරලක පහළ කොටසද පණුවකු කා දමමින් සිටින ආකාරයයි.
එම කොටසද කටින් කඩා ඉවත් කරනවාත් සමගම තම බිරිඳ මරහඬ නගමින් කෑගසනු ඇසී සිහිනෙන් අවදී වුයේ කුමක් සිදුවී දැයි සිතාගත නොහැකිවයි.
මරහඬ නගමින් අවදිවූ වන්ද්‍රා ඇඳෙන් නැඟිට ආලින්දය වෙත දිවගියේ ඇඳට දමා තිබූ මදුරු දැලෙහි කොටසක්ද ඉරාගෙනයි.
තම බිරිඳ සිහිනයෙන් බයවීද, අමනුෂ්‍ය දෝෂයක්ද, අසනීපයක්ද නැතිනම් විෂ සහිත සතෙකු ඇයට දෂ්ට කළා දැයි ක්ෂණයෙන් නැඟුණු ප්රශ්නාවලියකට මැදිව ඔහුද ඇඳෙන් නැඟිට බිරිඳ පසුපස ආලින්දය වෙත දිවගොස් තිබුණා.
ඇය තම වම් කණ දෑතින්ම වසාගෙන හඬමින් සිටියා.
ඇගේ මුහුණ ද වදමල් ඉස්ම වත්කළා මෙන් රත්පැහැ ගැන්වී තිබුණු බව උපුල් දුටුවා.
ඇගේ වේදනාව දිස්නය දෙමින් තිබූ කම්මුල් තුළින් ඔහුට දිස්වුණා.
දුවත් පුතාත් මවගේ මේ කෑමොර හඬ ඇසී ආලින්දය වෙත දිවආවේ කුමක් වී දැයි කුතුහලයෙන්.
අම්මේ, ඇයි කෑගහන්නේ, මොකද වුණේ පුතා විමසා තිබුණා.
තාත්තා මගේ කන කෑවා පුතේ කොච්චර කෑගැහුවත් අත ඇරියේ නෑ. පොඩ්ඩක් බුරුල් වුණ ගමන් මම ඇඳෙන් පැනලා නැගිට්ටා. නැත්නම් කන වෙන් වෙන්නම විකනවා… යැයි ඇය පැවසුවේ කෙඳිරිගාමින්.
බිරිඳගේ වචනවලට කන්දුන් උපුල්ට සිදුවී ඇති සියල්ල තේරුම් ගැනීමට වැඩි වේලාවක් නොවීය.
තමා සිහිනෙන් පණුවකු සිටින මෑ කරලක් යැයි සිතා පසා ඇත්තේ බිරිඳගේ කන බවයි.
උපුටා ගැනීම – අරුණ පුවත්පත






