සීදූව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක තනිවම හුදෙකලාවේ ජීවත් වූ සීදූව තෙල් සහමේද සංයුක්ත මණ්ඩලයේ විශ්‍රාමික විධායක නිලධාරිනියක් වූ 73 හැවිරිදි දෙදරු මවක් 15 වැනිදා රාත්රියේදී ඇයගේ දකුණු අත දකුණු පාදයට තබා රෙදි පටියකින් ගැටගසා තුවායක් වැනි රෙදිකඩකින් ගෙල සිරකර ඝාතනය කර ඇතැයි සීදූව පොලීසිය පවසයි.
එලෙස ඝාතනයට ලක්ව මියගොස් ඇත්තේ දියණියන් දෙදෙනෙක් ඇති තම ස්වාමිපුරුෂයා මියයෑමෙන් අනතුරුව හුදකලාව ජීවත් වූ විතාරනගේ ප්රසිලා ඊඩිත් ගුණවර්ධන නමැති 73 හැවිරිදි කාන්තාවකි. තම දියණියන් දෙදෙනාම විවාහවී ඇති අතර වැඩිමහල් දියණිය ඕස්ටේ්රලියාවේ පදිංචිව ඇති අතර දෙවැනි දුව කොළඹ රාජගිරිය ප්‍රදේශයේ ජීවත්වෙයි. එම දියණියන් දෙදෙනාම නිතිපතා තම මව සමග දුරකථනයෙන් ඇමතීම පුරුද්දක් කරගෙන සිට ඇත.
පසුගිය 15වනදා රාත්රියේදී ඕස්ටේ්රලියාවේ පදිංචිව ඇති දියණිය දුරකථනය ඔස්සේ රාත්‍රී අටට පමණ කථාකර තම මවගේ සුවදුක් විමසා මවට පරිස්සමෙන් නිදාගන්නා ලෙසත් වෙනදා මෙන් නිවස සෝදිසි කර බලා නිදාගන්නා ලෙසත් පවසා ඇති බව අනාවරණය වේ.
එම දියණියම 16වනදා පෙරවරුවේ සිට වරින් වර තම මවට ඇමතුම් ලබාදුන්නත් තම මව දුරකථනයට නොඑන්නේ ඇයිද කියා සැකයක් ඇතිව කොළඹ පදිංචිව සිටි තම නැගණියට අමතා අම්මා ගැන අසලස් වැසියකුගෙන් හෝ විමසන්න කියා පවසා තිබේ.
ඒ අනුව මවගේ නිවස අසල පදිංචි ඒ අයට හිතවත් අයෙක් වෙත එම දියණි ඇමතුමක් ලබාදී අපේ අම්මාට අසනීපයක්ද කියා බලා නැවත දන්වන්න කියා පවසා ඇත. ඉන් අනතුරුව එකී පුද්ගලයා විසින් අදාළ නිවස වෙත ගොස් ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ නම කියා කථාකළද පිළිතුරක් නොමැති නිසා පිටුපස ඇති දොර ගාවට ගොස් බලා ඇත. එවිට දොර විවෘතව ඇති බව දැක එතනම ඉදිමින් එකී අසල්වැසි පුද්ගලයා විසින් නිවැසි කාන්තාවට කතා කළද නිහැඬියාව සැකයට හේතුවී ඔහු නිවසට ඇතුල් වී තිබේ. එහිදී නිවසේ ඇති සියලූම කාමර විවෘතව ඇති බවත් එක් කාමරයක නිවැසි කාන්තාව බිම වැටී සිට ඇති බව දැක ඇයගේ දියණියට දුරකථනයෙන්ම සිද්ධිය ගැන පවසා තිබේ.
ඉන්පසු ඝාතන සිද්ධිය සිදුවූ ස්ථානයට මීගමුව අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා පැමිණ මරණකාරියගේ මරණ පරීක්ෂණය සිදුකර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.
මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති ඝාතකයා සොයා ගැනීමට මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී 03 එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත සීදූව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා, පොලිස් පරීක්ෂක කුමාර, පොලිස් සැරයන් (51717) හරිස්චන්ද්‍ර, පොලිස් සැරයන් (53776) යසපාල, පොලිස් කොස්තාපල් (60302) මංජුල, පොලිස් කොස්තාපල් (72566) හේරත් යන නිලධාරීන් විසින් පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබේ.
ආනන්ද නිශ්ශංක – කටුනායක






