Press "Enter" to skip to content

ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම නවතියි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16 වැනිදා) සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15 වැනිදා) පස්වරුව වන විට අවසන් වී තිබුණි. එහෙත් කර්මාන්ත සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇත. සතියකට ආසන්න කාලයක් මෙම නෞකාව නැංගූරම්ලා ඇති අතර ගෑස් ගොඩබෑම සඳහා තොග නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. ගෑස් නැව මුදා ගැනීමට සහ හිඟ මුදල් ගෙවීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන දහයක මුදලක් අවශ්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇත. ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික් ටොන් තිස්දාහක් (30,000) ක් පමණ ආනයනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ.

මේ අතර ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසීය.

ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස සංස්ථාවේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඊයේ හවස රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසා තිබේ.

ඉන්ධන මිල වැඩිවිම සහ ඩොලරය ඉහළ යාමට අමතරව ලිහිසි තෙල් සියයට 75 කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුලු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවද දින දෙකක් තුළ විසදුමක් නොලැබීම නිසා ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කළ බවත් ඔහු කීය.

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසිනි.

More from GossipMore posts in Gossip »