Press "Enter" to skip to content

භාණ්ඩ 600ක් ආනයනය තහනම් කරන්න සියල්ල සූදානම්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීම සීමා කරමින් නිකුත් කිරීමට නියමිත රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාව ඊයේ (07 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත.

විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම පාලනය කිරීම වෙනුවෙන් ආනයන අධෛර්යමත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව මෙලෙස අත්‍යවශ්‍ය නොවන යැයි හඳුනාගත් භාණ්ඩ වර්ග ලැයිස්තුවක් සකස් කර ඇත.

මේ අතර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කිරීමත් සමග එම කාණ්ඩයට අයත් වේ යැයි සැකකෙරෙන භාණ්ඩ මෙරටට ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බහාළුම් (කන්ටේනර්) වෙන්කිරීම නෞකා සමාගම් අත්හිටුවා ඇතැයි අනාවරණය වේ.

මේ නිසා පසුගිය සතියේ අවසාන දින කිහිපයේ දී විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහනයට සූදානමින් සිටි ව්‍යාපාරිකයෝ රැසක් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.

චීස්, බටර්, එළවළු, පලතුරු, අයිස්ක්‍රීම්. චොකලට් හා සෝස් ඇතුළු අත්‍යවශ්‍ය නොවන යැයි හඳුනාගත් භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීම වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 05ක් 06ත් අතර ප්‍රමාණයක් වැය කෙරෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව තක්සේරු කර ඇත.

මහ බැංකු වාර්තාවන්ට අනුව 2021 වසරේදී එළවළු ආනයනයට පමණක් ඩොලර් මිලියන 384ක් වැය කර ඇති අතර මිදි, දොඩම්, ඇපල් සහ පෙයාර්ස් වැනි පලතුරු ආනයනය සඳහා ඩොලර් මිලියන 67ක් වැය කර තිබේ.

ඊට අමතරව චීස් සහ බටර් වැනි කිරි වර්ග ආනයනය වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 17කි.

More from GossipMore posts in Gossip »