ප්‍රින්සි ග්‍රාම නිලධාරි සේවයට එකතු වූයේ මෑතකදීය. විවාහක දෙදරු මවක වූ ඇය තවමත් පසු වන්නේ තරුණ අවධියේය. සුන්දර ප්‍රියමනාප පෙනුමකින් යුත් ප්‍රින්සි කතාවටද බොහෝ දක්ෂයි.
ඡන්ද හිමි නාම ලේඛන සකස් කරන අවධිය බොහෝ ග්‍රාම නිලධාරීන්ට කාර්ය බහුල කාලයකි. වසමේ සියලුම පදිංචිකරුවන්ට නියමිත පරිදි බීසී ආකෘති පත්‍ර බෙදාදීමත් ඒවා නැවත එකතු කර මැතිවරණ කාර්යාලයට භාරදීමත් කෙටි කලක් තුළ සිදුකළ යුතු බැවින් ග්‍රාම නිලධාරීන් එය ප්‍රමුඛ කාර්යයක් සේ සලකා ක්‍රියාකිරීම සාමාන්‍ය සිරිතය.
ප්‍රින්සිද තමන් පත්වීම් ලද කොට්ඨාසයේ ඡන්ද දායකයන්ට බීසී ආකෘති පත්‍ර බෙදාදීම ආරම්භ කළේ ඔය අතරය.
සාමානයෙන් ඕනෑම ග්‍රාම නිලධාරිවරයෙක් අලුතින් ගමට ආ පසු තමන්ට වසම හුරුවන තෙක් ගමේ සමාජ සේවයට ලැදි අයගෙන් උදව් ගැනීම සාමාන්‍ය සිරිතය. එවැනි අයගෙන් ගමේ අයගේ කැරට්ටුව හොඳින් අසා ගැනීමද නවක ග්‍රාම නිලධාරිවරයෙකුට අතිරේක වාසියකි.
එහෙත් ප්‍රින්සි මෙම වැඩේට එරතම් කැමැත්තක් නොදැක්වූවාය. ‘මම තනියම ගිහින් ඡන්ද කොළ ටික බෙදනවා.’ යැයි ඇය සිතුවාය. එලෙස තීරණයකට එළැඹි ඇය ගමේ ගෙන් ගෙට යමින් තමා කවුදැයි හඳුන්වා දෙමින් සිය කාර්යය කරගෙන ගියාය.
වේලාව සවස 2.00ට පමණ ඇත. අව් රශ්මියද වැඩිය. ආ..අර වෙල මැද තිනෙ තනි ගෙට ඡන්ද කොළේ දීලාම අදට වැඩ ඉවර කරනවා යැයි සිතූ ප්‍රින්සි එම නිවස වෙත පිය නැගුවාය.
‘කවුද ගෙදර’ යැයි කීපවරක් ප්‍රින්සි හඬ අවදි කළ විට එතෙක් අඩවන් කර තිබූ දොර විවර කරගෙන තරුණයෙක් දොරකඩට පැමිණියේය.
‘ආ අපේ අලුත් ග්‍රාම සේවක මිස්ද’ යැයි පැවැසූ තරුණයා ‘එන්න මිස් ගේ ඇතුළට’ කියා ග්‍රාම නිලධාරිනියට සුහද ඇරයුමක් කළේය. ගෙවී ගියේ තත්ත්පර කීපයකි. ප්‍රින්සි ගෙට ඇතුළු වූවාත් සමගම ක්ෂණිකව ක්‍රියාත්මක වූ තරුණයා එකවරම එතෙක් විවර කර තිබූ නිවසේ දොර වසා දැමුවේය. ප්‍රින්සිට තරු විසි වූයේ එවිටය. උන් හිටි තැනද අමතක වූ ප්‍රින්සි දොර ඇරගෙන එළියට පැන්නාය.
මේ සිදුවීම මද දුරකින් ගමන් කරමින් සිටි මැදවියේ කාන්තාවකගේ නෙත් ගැටිණි.
‘ඇයි..ඇයි..නෝනා…මොකද වුණේ. ග්‍රාම නිලධාරිනියගේ අතින් අල්ලාගත් එම කාන්තාව ප්‍රින්සිගෙන් විමසුවාය. ඇයගේ ඇඟට ලේ පොදක්ද ඉනුවේ ඒ මොහොතේය. මදක් සන්සුන් වූ ඇය සිදුවීමට ගිය අකරතැබ්බය අර කාන්තාවට කීවාය. එය ඇසූ කාන්තාවගේ මුවඟට සිහින් සිනාවක් නැගිණි.
‘අනේ නෝනා..ඕකාගේ නම මහතුන්..ටිකක් සිහිකල්පනාව මදි. තනියෙන් තමා ගෙදර ඉන්නේ. ඉඳලා හිටලා ඔහොම වැඩ කරනවා.’
එයාට දෙකක් කියලා ඡන්ද කොළ මිටිය අරගෙන එන්නම්.’ යැයි පැවැසූ ඇය එම ගේ දෙසට පිය නැගුවාය.
මහතුන්ගේ නිවසට ගිය කාන්තාව ඔහුට මොනවදෝ කියමින් දොස් කියනු ප්‍රින්සි බලා සිටියේ පාරේ ඈත කෙළවරේ සිටය.
සිද්ධිය එතැනි නිමා වුවද ප්‍රින්සි යළි කිසිම දිනෙක මහතුන්ගේ නිවසට රාජකාරියක් සඳහා නොගියාය.
ආර්.ඒ. බණ්ඩාර – හිඟුරක්ගොඩ






