Press "Enter" to skip to content

“සුදේව ලිස්සලා ගියා” – තිලිණි පෙරේරා ස්වර්ණවාහිනියට සමුදෙමින් හෙළි කළ කතාව මෙන්න


තිලිණි පෙරේරා කියන නම නම් ඔබට එතරම් හුරුපුරුදු නැතුව ඇති. ඒ ඇයගේ නමට වඩා ඔබට හුරු ඇයගේ කටහඩ නිසා. “ආයුබෝවන් වෙලාව රාත්‍රී අටයි, සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලයිව් ඇට් එයිට් සමගින්, මම නදීක කරුණානායක, මම තිලිණි පෙරේරා.” දැන් නම් ඔබට ඇයගේ රුව මැවෙනවා ඇති.

ඇය තමයි ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති විකාශය බවට පත්ව තිබු ස්වර්ණවාහිනි live at 8 ප්‍රවෘත්ති විකාශය දීර්ඝ කාලයක් ඉදිරිපත් කල තිලිණි පෙරේරා. ඇය සමඟ මෙලෙස ප්‍රවෘත්ති විකාශය කළ සඟයා වුණේ නදීක කරුණානායකයි. නදීක කරුණානායක පසුගිය දිනක සිය මුහුණුපොතෙහි සටහනක් එක්කර තිබුණේ ඔහු ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වූ බව පවසමින්.

ඒ වගේම හරේන්ද්‍ර ජයලාල් කියලා කියන්නේ රටම ආදරය කරන ජනප්‍රිය නිවේදන ශිල්පියෙක්. ඉතින් 2000 වසරේ සිට ස්වර්ණවාහිනී නාලිකාව නියෝජනය කරන දක්ෂ නිවේදකයෙක් ලෙස හරේන්ද්‍ර ජයලාල් හදුන්වන්නට පුළුවන්. වසර ගණනාවක් ස්වර්ණවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කල හරේන්ද්‍ර 2018 වසරේ ස්වර්ණවාහිනී නාලිකාවට සමු දුන්නා. නමුත් නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස අමාදහර ඇතුළු විශේෂිත වැඩසටහන් කිහිපයක් පමණක් හරේන්ද්‍ර ජයලාල් විසින් එතැන් සිට මෙහෙයවනු ලැබුවා. නමුත් පාලනාධිකාරිය විසින් ඉදිරිපත් කළ කොන්ද්සි වලට අනුව කටයුතු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා හරේන්ද්‍රටත් ස්වර්ණවාහිනියෙන් ඉවත් වෙන්න වුණා.

ඉතින් අපි ගොඩක් දෙනෙක්ට හුරු නම් ත්‍රිත්වය තමයි නදීක කරුණානායක, තිලිණි පෙරේරා වගේම හරේන්ද්‍ර ජයලාල් කියලා කියන්නේ. ඉතින් මේ කියන්න යන්නේ තිලිණි පෙරේරා කියන දක්ෂ නිවේදිකාව ස්වර්ණවාහිනියෙන් සමු ගැනීමේ පුවත ගැනයි. පසුගිය කාලය පුරාවටම ඇයව අපට දකින්න ලැබුණේ නැහැ. ඉතින් ඒ තිබුණු නිහැඬියාව ගැන වගේම ඇය ස්වර්ණවාහිනී ආයතනයට සමු දුන් බව කියමින් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එහි සඳහන් වූයේ මෙවැන්නක්,

“ඉතින් ආයුබෝවන් ස්වර්ණවාහිනී – ස්වර්ණවාහිනීයෙන් නිල වශයෙන් සමු ගනිමි.

සුදේව හෙට්ටිආරච්චි වෙත ලියමි,

මීට අවුරුද්දයි මාස 3කට පෙර එනම් 2020.09.22 දින මාගේ සහ ස්වර්ණවාහිනී හිටපු නිවේදක නදීක කරුණානායකගේ සියලු වැඩසටහන් නිවේදන කටයුතු නවත්වා කිසිදු හේතුවක් නොදන්වා පරීක්ශණයක් පවත්වන බව පැවසූ දිනයේ, ප්‍රධාන විධායක නිලධාරියා වූයේ ඔබ බැවින්ද , මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ශ ජනරාල්වරයා වුවද ස්වර්ණවාහිනීයේ කටයුතු මෙහෙයවන්නේ ඔබ බවට ආයතනයේ කා අතරත් ප්‍රසිද්ධ රහසක් බැවින්ද මෙම ලිපිය ලැබීමේ එකම සුදුස්සා ඔබ යැයි සිතමි. එදා සිට අද දක්වා තිරයේ නොපෙනුණත් අද දක්වා ස්වර්ණවාහිනීයේ සේවිකාවක් වූ බැවින් බොහෝ දෙනෙක් විමසූ ප්‍රශ්න වලට සත්‍ය කිව නොහැකිව නිශ්ශබ්දව සිටින්නට සිදු විය.

ඔබත් රංගන ද සිල්වාත් ස්වර්ණවාහිනීයට පැමිණෙද්දී එක් කරුණක් පිලිබඳව මා ඇතුලු අනෙක් සේවකයින් සතුටු විය. ඒ විජාතික සමාගමක් වන ලයිකා මොබයිල් සමාගම විසින් මිලට ගත් ස්වර්ණවාහිනීයේ ප්‍රධාන තනතුරකට මෙරට මාධ්‍ය ක්ශේත්‍රයේ කොතැනක හෝ සිටි අය පැමිණීම ගැන සතුටක් වූ බැවිනි. ඔබ පැමිණීමෙන් පසු මුල් වරට අප හමුවී ස්වර්ණවාහිනීයේ මෙතෙක් කලක් සිටි නිවේදකයින් සම්පතක් බවත් ගමන ඇත්තේ ඒ අයත් සමග බවත් කියද්දී එම සතුට වැඩිවිය. ඔබේ අතීතය ගැන දන්නා සමහරු නම් ඒවා වචන පමණක් විය හැකි බව කීවත් ඒ තරම්ම මවා පෙන්විය හැකි යැයි නොසිතුවෙමි. කෙසේ වෙතත් ඒ සමහරු කී දේ පසක් කරමින් මුලින් කී කතා බොරු රංගන බව තේරුම් ගන්නට හැකි වූයේ අප රාජකාරි වලින් ඉවත් කිරීමෙන් පසුවයි. එවකට ස්වර්ණවාහිනීයේ සිටි මාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීන , ජනප්‍රිය නිවේදකයින්ටද දවසින් දවස පල නොකියා පලා බෙදද්දී මට කවර කතා දැයි අමුතුවෙන් කිවයුතු නැත. මා මුලින් සඳහන් කල නදීක කරුණානායක හා මා සියලු වැඩසටහන් වලින් ඉවත් කර ලිපියක් ලබා දුන් දිනයේ ඒ ගැන විමසීමට යද්දී ඔබ පිළිතුරු නොදී පලාගිය අයුරු අදටද සිහිවේ. රූපවාහිනී තිරය ඉදිරියේ රටේ නම ගිය චරිත ප්‍රශ්න කල ඔබේ ප්‍රතිරූපය මා වැනි වයසින් බාල , තනතුරින් පහල නිවේදිකාවක් ඉදිරියේ හෑල්ලු වූයේ ඇයි දැයි මම නොදනිමි. මා නීතිඥවරියක ලෙස දිවුරුම් දී සේවයට පැමිනි මුල්ම දිනයේ එය සිදුවීමත් , ඔබ හැර ආයතනයේ සියලු දෙනා මට සුබ පැතූ බවත් කිසිදා අමතක නොවේ. එදින ඔබට මා ඉදිරියේ පිළිතුරක් නැති වූයේ මේ සමස්ත සිදුවීම ඔබගේ පමණක් සැලසුමක් නොවූ නිසා විය හැක. විදේශයක සිට එන බලවේගයක් විසින් ඔබව මෙහෙයවූවා විය හැකි බැවින් ඔබ කෙරෙහි කිසිදු වෛරයක් මට නැත. බහුතරයක් දෙනා මුලින්ම සිතන්නේ තමන් ගැනය. සිතා ගත නොහැකි තරමේ වැටුපක් ආරාක්ශා කර ගැනීමට සහෝදර සේවකයින් නෙරපා හැරීමටත් වඩා දේ ඉදිරියේදී ඔබට කරන්නට සිදු වුවහොත් ඊටද පුදුම විය යුතු නැත.

2022 වසර ආරම්භයත් සමග ස්වර්ණවාහිනීයත් සමග තිබූ ව්‍යාකූල වූද , පීඩාකාරී වූද බැඳීම ලෙහා දමන්නට සැලසීම මට නම් මහත් සහනයකි. මාස 15ක් තිස්සේ ද්වේශ සහගත ලෙස අවහිර කර තිබූ නිවේදන ගමන හෙට සිට මට නිදහසේ යළි ඇරඹිය හැකි වනු ඇත. අවසාන වශයෙන්, රූපවාහිනී තිරය ඉදිරියේ තමන් සර්ව සාධාරණ බව හඟවමින් මවා ගන්නා ව්‍යාජ ප්‍රතිරූප වලට ඇත්තේ තාවකාලික පැවැත්මකි. එකී ව්‍යාජ ප්‍රතිරූප ගැන රටේ සමස්තයක් දෙනා නොදන්නවා වුවද ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ සේවකයින් නම් හොඳින් දනී. රටේ ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා රඟපෑමට පෙර ස්වර්ණවාහිනී නාලිකාවේ සේවකයින් කී දෙනෙකු නව කළමණාකාරීත්වයේ අසාධාරණ තීරණ හේතුවෙන් සාධාරණත්වය පතා අධිකරණය ඉදිරියට ගොස් ඇත්දැයි පරීක්ශා කර බලන මෙන් ඉල්ලමි. ඒ සංඛ්‍යාවට හෙටින් පසු තවත් 1ක් එකතු කරගන්න. තමන් යටතේ සිටින සේවකයින්ට සාධාරණයක් කල නොහැකිව ලයිකා මොබයිල් සමාගමේ මුදල් වලට කීකරු වන ඔබ අසරණයැයි සිතා ඔබට අනුකම්පා කරමි.”

තිළිණි පෙරේරා

More from GossipMore posts in Gossip »