විදේශිකයෙකු විවාහ කර ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් මින් ඉදිරියට ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අනුමැතියක් ලබාගත යුතු බවට රජය ගෙන ඇති තීරණය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.
ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයට සමගි ජනබලවේගය සිය අප්‍රසාදය පළ කරන බවත් කුමන පාර්ශ්වයන්ගේ වුවමනාවට මෙවැනි චක්‍රලේඛ නිකුත් කරන්නේද යන්න ගැටලු සහගත බවත් හෙතෙම කිවේය.
වගකිව යුතු රජයක් ලෙස මේ මොහොතේදී කළ යුතුව ඇත්තේ මෙවැනි විහිලු සහගත ක්‍රියාවන් නොව ජීවන වියදම ඇතුළු මෙරට ඇති ජනතා ගැටලුවලට පිළිතුරු ලබා දීම බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එමෙන්ම ජීවන වියදම පාලනය කිරීමට ආණ්ඩුව ගත් සෑම ක්‍රියාමාර්ගයක්ම අසාර්ථක වී ඇති මොහොතක ඊට විසඳුම් ලෙස නිලධාරීන් සිය ධුරවලින් ඉවත් කිරීම අනුවණ ක්‍රියාවක් බව පැවසු මන්ත්‍රීවරයා එලෙස නිලධාරීන් ගෙදර යැවීමට කටයුතු කරනවා වෙනුවට පාලකයන් ගෙදර යැවිය යුතු බවද පැවසීය.
එම නිසා වත්මන් ආණ්ඩුව ලබන වසර (2022) ඇතුළතදී ගෙදර යා යුතු වන අතර එලෙස නොයන්නේ නම් යැවීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව සමගි ජන බලවේගයේ දැනට ඇති මතය අනුව ඊළඟ ජනාධිපති අපේක්ෂක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවද හෙතෙම කියයි.
අරුණ






