Press "Enter" to skip to content

පොල් හොරකම් කරලා හිරේ ගිය දැරිය

ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. සමහර දේවල් ගැන කොතරම් සිහින මැව්වත් ඒ දේවල් සිහිනම පමණක් වෙද්දී, තවත් වෙලාවකට නොසිතූ නොපැතූ ලෙසින් ලැබෙන අවස්ථාවන් ජීවිතේම වෙනස් කරමින් අලුත් බලාපොරොත්තුවලට මග කියන්නේ අපි නොදැනුවත්වම අපිට උරුම දෛවය වෙත අපිව රැගෙන යමින්.

ඒ විදියට ජීවිතේට අලුත් අත්දැකීමක් වුණු පුංචි තාරකාවියක් සමගයි අද මේ කතාබහ. ඇය අපිට මුණගැහෙන්නේ මේ දිනවල තිරගත වන සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ බෙනට් රත්නායකගේ ‘කවුරුවත් දන්නේ නෑ’ සිනමාපටය තුළින්.

සිනමාවට නැත්නම් සමස්ත කලාවටම අලුත් මුහුණක් නිසා පිනිපලස තුළින් ඇය සොයා යන්නට හිතුවා.

ඇය ගස්බාරුගේ නිමේෂිකා ඈන් ආශානි ප්‍රනාන්දු
පාසල් ගියේ – වෙන්නප්පුව කොන්වන්ට් එකට.

පවුලේ විස්තර – අම්මා, තාත්තා අක්කලා දෙන්නයි අයියයි නංගියි මට ඉන්නේ.

දැන් වයස – අවුරුදු 18යි.

මේ වෙද්දී මොකද කරන්නේ – බේකරි ක්ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලවක් කරනවා.

‘කවුරුවත් දන්නේ නෑ’ සිනමාපටයේ රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

බෙනට් සර්ගේ දුව ගාව තමා මගේ තාත්තා වැඩ කරන්නේ. ඒ නිසා බෙනට් සර්ගේ දුවගේ ළමයි එක්ක මම සෙල්ලම් කරන්න එහෙ ගිහින් තියෙනවා. ඒ පොඩි කාලේ ඉඳන්ම එයාලා අඳුනනවා. ඒ නිසා මට එන්න කියලා තිබ්බා. එදා ගියාම තමා මට කිව්වේ මේ චරිතය ගැන.

රඟපාන්න එන්න කිව්වම මොකද හිතුණේ?

මුලින්ම මට බය හිතුණා. මොකද මම පාසලේදී පවා සෞන්දර්ය විෂයන්ට ඉගෙන ගෙන තිබ්බේ චිත්‍ර.

කොහොමද පළවැනි අත්දැකීම..

මට මුලින්ම ෂූටින් තිබ්බේ වොන්ඩර් වුමන් ඇඳුම ඇඳගෙන හලාවත බීච් එකේ. බෙනට් සර් මට කියලා දුන්නා මේක මෙහෙම කරන්න මේ විදියට ඉන්න කියලා. පළවැනි දවස් දෙක තුන නම් හරි අමාරු වුණා. පස්සේ මට තේරුණා මේ විදියට කළාම හරි කියලා.

ඔබේ චරිතය ගැන කියනවනම්

පොල් ගෙඩි අටක් සොරකම් කරලා නිතියේ රැහැනට හසුවෙන දැරියකගේ චරිතයක් කරන්න තියෙන්නේ නිතියේ ප්‍රශ්න නිසා ඇයට මුහුණ දෙන්න වෙන සිදුවිම් චිත්‍රපටය පුරා දිව යනවා.

ගෙදරින් මොකද කියන්නේ?

අම්මටයි තාත්තටයි තමා ගොඩක්ම සතුටු. චිත්‍රපටයේ මගේ නංගිට රඟපාන්නෙත් මගේම නංගි. එයාට නම් දෙබස් මුකුත් කියන්න තිබ්බේ නැහැ.

පාසල් යන කාලේ නාට්‍යයවලට සම්බන්ධ වෙලාම නැද්ද?

මම චිත්‍ර තෝරා ගන්න කලින් නාට්‍ය රංග කලාව විෂය තෝරාගන්න ගියේ. එතැනදී මට මුලින්ම කරන්න කිව්වේ වැද්දෙක්ගේ චරිතයක්. ඒ නිසා මම චිත්‍ර විෂය තෝරාගත්තා.

ඒ කියන්නේ ආසාවක් තිබ්බා?

ඔව් ආසාවක් තිබ්බා. ඒත් ඒ විෂයට තෝරාගන්න ඒ අය කියන චරිතය කරලා පෙන්නන්න ඕනේ. ළමයි ඉස්සරහ එක පාරටම වැද්දෙක්ගේ චරිතයක් කරලා පෙන්නන්න කිව්වම මට ලජ්ජා හිතුණා.

අමතක නොවන අත්දැකීම් ඇති?

පොල් ගහට නගින එකක් තියෙනවා.

ඇත්තටම පොල් ගස් නගින්න පුළුවන්ද?

මට පුරුදු වෙන්න කියලා තිබ්බා. මම බහිනකොට මගේ අත්දෙක හොඳටම තුවාල වෙලා. තව තැනක් තියෙනවා මම පොල්ගෙඩි ටික උස්සන් යද්දී මගේ පස්සෙන් බල්ලෙක් පන්නගෙන එනවා. එතකොට මම එයාට බයේ හයියෙන් දිව්වා. ඒ දේවල් නම් මට අමතක වෙන්නේ නැහැ.

ගෙදරින් ලැබුණු සහයෝගය?

අම්මගෙන් තමා මට ලොකුම සහයෝගය ලැබුණේ. මගෙත් එක්ක හැම දර්ශන තලයකටම ගියේ අම්මා.

මෙතැනින් එහාට රංගනයට ආරාධනා ලැබුණොත්?

මම ආසයි රංගනයට. ඒ නිසා හොඳ නිර්මාණයකට කතා කළොත් බාරගන්නවා.

එතකොට රංගනය තුළ කැමති මොනවගේ චරිතවලටද?

මම කැමති දුප්පත් චරිතවලට.

රංගනය ගැන හදාරන්න අවස්ථාවක් ලැබුණොත්?

මම සතුටින් බාර ගන්නවා. මොකද මම ආසයි රංගනය ගැන වැඩිදුර හදාරන්න.

එතකොට බේකරි ක්ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලවක් කරන්නේ, වැඩි කැමැත්ත ඒ ක්ෂේත්‍රයටද?

මම ආසයි කෑම වර්ග, කේක් වගේ දේවල් හදන්න. ඒ නිසා තමා මම ඒ බේකරි ක්ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලවක් කරන්න හිතුවේ.

ගෙදර අය කියනවද හදන කෑම රහයි කියලා?

ඔව්. ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා.

තවම ජීවිතේ පටන් ගත්තා විතරයි, මේ කෙටි කාලය තුළ ලැබුණු නොලැබුණු දේවල් ගැන මොකද හිතෙන්නේ?

දැන් නම් හිතෙනවා තව ඉස්කෝලේ යන්න තිබ්බා නම් හොඳයි කියලා. මම සාමාන්‍යය පෙළින් පස්සේ මේ බේකරි ක්ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලාව කරන්න තෝරා ගත්තේ. දැන් ඉතින් මේ තුළින් ඉදිරියට යන්න උත්සාහ කරනවා.

අහම්බෙන් හරි ලැබුණු අත්දැකීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතුවෙ නැහැ මට මේ වගේ රඟපාන්න පුළුවන් වෙයි කියලා. ඒත් මට ලැබුණු චරිතය මම කළා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

පාසලේදී මම ස්පෝර්ට්ස් කළා. ඒ කාලේ මම ආස කලා පොලිස් නිලධාරිනියක් වෙන්න. ඒ අයගේ නිල ඇඳුමට සහ ඒ වෘත්තියට මම ආස කළා. දැන් නම් මගේ බලාපොරොත්තුව බේකරි නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ කේක් වගේ දේවල් හදලා මගේම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ අතරේ ආරධනාවක් ලැබුණොත් රඟපානවා.

අනුෂා රණසිංහ

More from GossipMore posts in Gossip »