මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පදිංචි පසුගිය දිනවල අතුරුදන්ව සිටි 12 හැවිරිදි දැරියකගේ මළසිරුර සොයාගැනීමෙන් අනතුරුව කරන ලද විමර්ශනයේදී ඇගේ මරණය සම්බන්ධයෙන් දැරියගේ පියා, මව, සොහොයුරිය හා ඇගේ මස්සිනා පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් ඊයේ (23දා) අත්අඩංගුවට ගෙන ඇත.
ගැබිනියක් බවට හඳුනාගෙන ඇති මෙම දැරියගේ කුසේ තිබූ දරු ගැබ ඉතා අමානුෂික අයුරින් විනාශ කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ මියගොස් තිබුණේ යෝගරාසා නිදර්ශනා නමැති 12 හැවිරිදි දැරියකි.
ඉකුත් පහළොස් වැනිදා සවස පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මුන්හිල්ලාරු උතුර උඩයාර්කට්ටු ප්‍රදේශයේ ඇගේ නිවෙසේ සිටියදී මෙම 12 හැවිරිදි දැරිය අතුරුදන්ව ඇති බව ඇගේ මව පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
පසුව ඒ සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති හේරත් මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කරමින් අතුරුදන් දැරිය සොයාගැනීමට මෙහෙයුම් දියත් කර තිබිණි.
පොලිසිය ඇගේ මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ ඉකුත් 14 වැනි දින තමා සිය බාල දියණිය සමඟ තමාගේ වැඩිමහල් දියණිය පදිංචි නිවෙසට ගිය බවය.
ඒ වනවිට වැඩිමහල් දියණිය ඇගේ සැමියා සමඟ ත්‍රිකුණාමලය බලා ගොස් සිටි බවත් පසුව එදින රාත්‍රියේ තමා සහ බාල දියණිය එම නිවෙසේ නතර වූ බවත්ය.
පසුදාට පහන් වූ පසු තමා බාල දියණිය සිය නිවෙස අතුපතු ගා දැමීම සඳහා නිවෙසට යැවූ බවත් නිවෙසට ගිය දියණිය ඉන්පසුව අතුරුදන්ව ඇති බවත් ඇය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියාය.
පොලිසිය ඇගේ ප්‍රකාශය මත දැරිය සොයාගැනීමට වෙහෙසුණද දැරිය සොයා ගැනීමට නිලධාරීන්ට නොහැකි විය.
පසුව ඉකුත් 18 වැනිදා දැරියගේ මළසිරුර දැරිය අතුරුදන් වූ නිවෙසට යාබද ප්‍රදේශයක තිබී සොයා ගැනීමට පොලිසියට හැකි වූ අතර දැරියගේ සිරුර ඒ වනවිටත් නරක් වී තිබිණි.
කෙසේ වෙතත් දැරිය සොයාගැනීමට පෙර එම ප්‍රදේශය හා ඒ අවට පොලිස් නිලධාරීන් සෝදිසි කළද දැරියගේ සිරුර හමු නොවීමත් ඊට දින දෙකකට පසු දැරියගේ සිරුර එම ප්‍රදේශයෙන් හමුවීමත් නිසා කිසිවකු විසින් දැරිය මරා එම ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසියට සැක පහළ විය.
පසුව මේ සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැති අතර ඉන් අනාවරණය වූයේ මියගිය 12 හැවිරිදි දැරිය ගැබිනියක් බවත් ඇගේ දරු ගැබ විනාශ කිරීම නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් ඇය මරණයට පත්ව ඇති බවය.
පසුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාගේ කිසියම් සැකයක් මත මියගිය දැරියගේ වැඩිමහල් සොහොයුරිය හා ඇගේ සැමියා ගෙන්වා ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ දැරිය අතුරුදන් වනවිට ඔවුන් ත්‍රිකුණාමලයට ගොස් සිටි බවය.
එමෙන්ම ඔවුන් ත්‍රිකුණාමලය බලා ගමන් කළ බස්රියේ ටිකට්පත්ද ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කරමින් ඔවුන් පවසා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය.
පසුව මේ සම්බන්ධයෙන් මුලතිව් කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්න, නියෝජ්‍ය පොලිස්පති එස්. සමුද්‍රජීව හා ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර දැනුවත් කළ පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ උපදෙස් මත දැරියගේ පියා ගෙනැවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු විසින් දැරියගේ මරණයට හේතු වූ කරුණු කාරණා අනාවරණය විය.
එහිදී හෙළි වී ඇත්තේ ඔහුගේ වැඩිමහල් දියණිය විවාහ වී සිටින බෑනාගෙන් තම බාල දියණිය අතවරයට ලක්ව ඇය ගැබිනියක් වී ඇති බවය. පසුව ඔහුගේ උපදෙස් මත දැරියගේ කුසේ වූ දරු ගැබ ඉතා අමානුෂික ලෙස විනාශ කිරීමට යෑමෙන් දැරියගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් දැරිය මරණයට පත්ව ඇති බවය.
පසුව පොලිසිය කළ විමර්ශනයේදී දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ සැමියා දුරකථන හා සම්බන්ධ වෙමින් මියගිය දැරියගේ සිරුර ඔහුගේ නිවෙස අසල ළිඳකට දමා ඇති බවත් පසුව එම සිරුර 18 වැනි දින ඇගේ නිවෙසට යාබද ප්‍රදේශයකට ගෙනැවිත් දමා ඇති බවත්ය.
කිසිවකු විසින් ඇය දූෂණය කර මරා දමන්නට ඇති බව හැඟවීමට දැරියගේ සිරුර එසේ දමන්නට ඇති බවට පොලිසියට සැකපහළ වී ඇත.
පසුව මේ සම්බන්ධයෙන් දැරියගේ මවගෙන්ද වැඩිමහල් සොහොයුරියගෙන්ද පියාගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් පසු සැකකාර දැරියගේ මස්සිනාද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දැරියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පුදුකුඩිඉරිප්පු පොලිසියේ ස්ථානාධිපතිවරයා කීවේය.
සැකකාර දැරියගේ මස්සිනා බස් රථ කොන්‍ෙදාස්තරවරයකු බවත් ඔහු අතින් මෙම දැරිය අතවරයට පත්ව ඇති බවත් පසුව මේ බව දැරියගේ මව, පියා හා සොහොයුරිය දැනගැනීමෙන් පසු දැරිය ගබ්සාවකට ලක්කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
ගබ්සා කිරීමේදී ඇයට දැඩි වේදනාවක් නොමැතිවීම සඳහා බෙහෙත් වර්ග කිහිපයක්ද ලබාදී ඇති අතර දැරියගේ දරු ගැබ ඉවත් කර ඇත්තේද සැකකාර ඇගේ මස්සිනාගේ නිවෙසේදීම බවද අනාවරණය වී ඇත.
උතුර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් මත මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. සමුද්‍රජීව, මුලතිව් පොලිස් කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.බී.ආර්. හේරත් ප්රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.
මෙම දැරිය මෙසේ සාහසික ලෙස ඝාතනය කළ අයට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් මුලතිව් මුංගිලාරු ගම්වැසියෝ ඉකුත්දා එම ප්‍රදේශයේ විරෝධතාවක්ද පැවැත්වූහ.






