රටේ තැනින් තැන සිදුවන ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට පෙරේදා (18 වැනිදා) පැමිණිල්ලක් භාර දී ඇත.
පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම එකමුතුවේ සභාපති නලින් සමන්ත ප්‍රකාශ කළේ මෙම කුමන්ත්‍රණය පිටුපස ලිට්රෝ සමාගම විනාශ කිරීමේ අරමුණක් ඇති බවයි.
වසර 150ක් පුරා ප්‍රමිතියෙන් තොර ගෑස් මෙරටට ගෙන්වා නොමැති අතර ලබන පෙබරවාරි මාසය වන විට ගෑස් ටෙන්ඩරය අවසාන වන බවත් දැනට ගෑස් ඇණවුම් කරන්නේ ඕමාන් ට්‍රේඩින් සමාගම බවත් සභාපතිවරයා කීවේය.
මෙම ටෙන්ඩරය ලබා දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් වන හෙයින් ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් ඇත්නම් මුදල් අමාත්‍යාංශය විසින් ඕමාන් ට්‍රේඩින් සමාගමට එරෙහිව කටයුතු කළ යුතු යැයිද මෙතෙම පෙන්වා දුන්නේය.
තවද, ලිට්රෝ සමාගමට අවශ්‍ය පරිදි ප්‍රමිතියෙන් බාල ගෑස් ගෙන්වා ජනතාව අනතුරට පත්කිරීමට හැකියාවක් නොමැති බවත් දැනට පැමිණ ඇති නැව් දෙකේ ද ඇත්තේ බාල ගෑස් බවට අසත්‍ය ප්‍රචාරයක් සිදු කරමින් මේ මොහොතේදී රට තුළ ලිට්රෝ ගෑස් සම්බන්ධයෙන් බිල්ලෙක් මවා ඇති බවත් ඔහු කීවේය.
මේ අතර, පොලිස් වාර්තා අනුව ලිට්රෝ ගෑස් පමණක් නොව ලාෆ් ගෑස් සිලින්ඩර 50ක්ද කාන්දු වී ඇති බවට තොරතුරු ඇතැයි ඔහු කීවේය.
මේ වන විට වාර්තා වෙන පිපිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගකිව යුතු බවත් ප්‍රමිතියෙන් තොර හෝස්, ගෑස් උදුන් හා රේගියුලේටර් වෙළෙඳපොළේ ඇති බැවින් ඒ ගැන ප්‍රමිති ආයතනය මෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ ද අවධානයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
අරුණ පුවත්පත






