පාසල් යන අවධියේ සිටම රංගනය විෂය කරගත් ගංගු රොෂානාව මෑත කාලයේ නිර්මාණවලින් දක්නට ලැබුණේ නැහැ. නමුත් පසුගියදා තිරගත වූ ‘නිම් හිම්’ සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සමගින් ගංගු නැවතත් කතාබහ කරන මාතෘකාවක් බවට පතවුණා. ඉතින් අපිත් තීරණය කළා ගංගු සමග කතා කරන්න.
කාලෙකට පස්සෙ චිත්‍රපටයකින් මුණ ගැහෙනවා…
ඔව්. අන්තිමට ආවේ ‘හොරා පොලිස්’ චිත්‍රපටය. ‘නිම් හිම්’ චිත්‍රපටයත් අවසන් කළේ අවුරුදු තුනකට කලින්. කොරෝනා ප්රශ්නය නිසා තමයි තිරගත කිරීම් ප්‍රමාද වුණේ.
චිත්‍රපට මේ ආකාරයට පරණ වීම ප්‍රශ්නයක් නේද…
නිළියක් හැටියට ඒක අපට සිද්ධ වෙන ලොකු අසාධාරණයක්. අපි හොඳ රඟපෑමක් ඉදිරිපත් කරලා අවුරුදු ගාණක් බලාගෙන ඉන්න ඕන තිරගත කරන්න. ඉතින් ඒක අවුරුදු ගාණක් ප්‍රමාද වෙනකොට අපිට වැඩ කරන්න තියෙන කාලය අහිමි වෙනවා. ක්ෂේත්රයට පැමිණෙන බොහෝ දෙනාගෙ පැවැත්මට කාලය හරස් වෙනවා.
ඔබ වෘත්තීය කලා ශිල්පිනියක්ද..?
මමත් වෘත්තියක් හැටියට කළේ රංගනය තමයි. නමුත් දැන් නම් රැකියාවක් කරන්න වෙයි.
ඇයි ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැත්තේ?
මම රංගනයට පැමිණෙන්නේ ඉස්කෝලේ යන කාලෙදීමයි. ඒ නිසා අධ්‍යාපනයත් එක්ක තමයි මට නිර්මාණය කරන්න වුණේ. ඒ නිසා කැමැත්තෙන් කරන්න පුළුවන් නිර්මාණ විතරයි බාරගත්තේ.
‘නිම් හිම්’ චිත්‍රපටයේ ඔබගේ චරිතය මොන වගේද?
මගේ චරිතය රාධි. මගේ සැබෑ ස්වරූපයෙන් වෙනස් වෙලා තමයි ඒ චරිතය නිරූපණය කරන්න වුණේ. දැනට තිරගත වෙලා තියෙන සිනමා නිර්මාණ අතරින් පවුලේ සැමට එකට සිට නරඹන්න පුළුවන් එකම නිර්මාණයේ ප්‍රධාන නිළිය වීම ආඩම්බරයක්.
‘නිම් හිම්’ හින්දි චිත්‍රපටයක කොපියක්ද?
ඔබ කියන හින්දි චිත්‍රපටයේ කතාව නෙවෙයි නිම් හිම් තුළ තියෙන්නේ. ඊට වඩා වෙනස් කතාවක්.
ඔබගේ පෙම්වතා නවක නළුවෙක්…
මිලින්ද එක්ක මම වැඩකරපු ප්‍රථම අවස්ථාව. හරිම ලොකු සහයෝගයකින් අපි වැඩ කළේ.
ඇයි නිර්මාණවල වැඩිපුර දකින්නට නැත්තේ?
කොරෝනා නිසා බොහෝ නිර්මාණ නතර වුණා. ඒ වගේම මට වැඩ ගොඩක් ලැබෙන්නෙත් නැහැ. මම හිතන්නේ එක වෙස් වලාගත් ආශිර්වාදයක්. පරක්කු වෙලා නිර්මාණයක් එනකොට මා ගැන කතා කරන ප්‍රමාණය වැඩියි.
කලකිරීමෙන්ද ඔබ කතා කරන්නේ…
එහෙම නැහැ කියන්නත් බැහැ. නමුත් කලකිරුණා කියලා කරන්න දේකුත් නැහැනේ. මගේ පාඩුවේ මම පුළුවන් තරමට වැඩ කරගෙන ඉස්සරහට යනවා.
ඔබ දායක වී ඇති නිර්මාණ ගැන කතා කළොත්?
රංගන ජීවිතය තුළ චිත්‍රපට හතක් සහ ටෙලි නාට්‍ය නවයක රඟපාලා තියෙනවා. මගේ මුල්ම නිර්මාණය අවුරුදු 13දී රඟපාපු ‘අමුතු මිනිස්සු.‘
ජනප්‍රියත්වය පවත්වාගෙන යාම පහසුද…
ඉස්කෝලේ යන කාලේම මම ජනප්‍රිය චරිතයක් වුණා. නමුත් ගෙදරින් මාව කන්ට්‍රෝල් කළා. මොකද ඒ ජනප්‍රියත්වය ඕනවට වඩා ඔළුවට දාගත්තා නම් අධ්‍යාපනය මගෙන් මිස් වෙනවා. නමුත් මම හොඳට ඉගෙන ගත්තා. පුළුවන් ආකාරයට නිර්මාණවල උන්නා. අද රඟපාන්න නැති වුණත් ඉගෙන ගත්තු නිසා අනාගතය ගැන බයක් නැහැ.
හොඳ නරක දෙපැත්තම ලැබුණා. විවේචනත් ආවා. නමුත් හොඳ ඉවසීමක් තිබුණ නිසා ඒවා දරාගත්තා. මොකද මම කරන්නේ මොකක්ද කියලා මම දන්නවා.
අද නිර්මාණ ලබාගන්න කෙටි මාර්ග තියෙනවා නේද…
මම නම් තාමත් යන්නේ නියම මාර්ගයේ. ඒකනේ ඉතා සීමිත නිර්මාණ ප්‍රමාණයක් ලැබෙන්නේ.
ඇයි ගොඩ වැඩිකර ගන්න කැමැත්තක් නැද්ද?
මේක තමා මගේ ගමන. හැමදේටම කැමති වෙන්න මට බැහැ. එහෙම කැමති වෙන අය එක මාවතක යනකොට මම මගේ මාවතේ යනවා.
ඔබ තාමත් අවිවාහකයි…
මට හිතෙනවා මෙහෙම නිදහසේ ඉන්න එක හොඳයි කියලා.
විවාහය කියන්නේ යුවතියකගේ හීනයක්..?
ඇත්තටම මම විවාහයට බයයි. විවාහය කියන්නේ වෙනම ප්‍රොජෙක්ට් එකක්. තාමත් මම එතැනට යන්න සූදානමක් නැහැ.
ඔබ විතරද පවුලේ ඉන්නේ…
නැහැ, අක්කලා දෙන්නෙක් ඉන්නවා. එයාලා දෙන්නම විවාහකයි.
ඉතින් ඇයි ඔබ මේ තරම් විවාහයට බය?
ඒගොල්ලන්ගේ විවාහ ජීවිත දිහා බැලුවාමත් මට බය හිතෙනවා. තනියම ගෙවන ජීවිතේ හරිම නිදහස්.
ඒ කියන්නේ ඔබ තනිකඩව ඉඳියි..?
බොහෝ විට එහෙම වෙන්න පුළුවන්.
තව කෙනකුගේ රැකවරණයක් නැති ජීවිතයකට හුරු වෙන්න පුළුවන්ද?
ඉස්සර තමා විවාහය කියන දේ අනිවාර්ය වුණේ. දැන් එහෙම දෙයක් නැහැ. අලුත් ලෝකය තුළ බොහෝ දෙනා කැමති තනියම ඉන්න. සමහරු දරුවෝ හදාගෙන තනියම සතුටින් ඉන්නවා. කොහොමත් බැඳීම්වල සතුටක් නැහැ.
ලංකාවෙ නිළියක් වීම ගැන මොකද හිතෙන්නේ…
ඇත්තටම අපි පුංචි රටක්. පුංචි සිනමාවක් අපිට තියෙන්නේ. ඉතින් ඒක ඇතුළේ අපි කරන හරිය හොඳටම ප්‍රමාණවත්. සමහරු සිනමාව ගැන ලොකු ලොකු කතා කියනවා. නමුත් මම නම් කියන්නේ අපේ හැටියට අපි ඉන්න තැන හොඳටම ඇති.
අපිට ඔස්කාර් යන්න බැහැ කියලද කියන්නේ…
ඒ දේවල් කරන්න තාක්ෂණය හා මුදල් අපට කෝ… අපේ තැන ඉඳගෙන යන්න පුළුවන් උපරිමයට යන්නයි අපි උත්සාහ කළ යුත්තේ.
ජීවිතය ගැන මොකද හිතන්නේ…
ලොකු ලොකු දේවල් කතා කරන්න කැමති නැහැ. පුළුවන් හැටියට ජීවත් වෙනවා. අපිට පුළුවන් ප්‍රමාණයට කටයුතු කරනවා නම් හැම කෙනාටම සතුටින් ඉන්න පුළුවන්.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර






