වාර්තා කර ඇති ළමා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වන 500ක අගයට වඩා දෙගුණයක් පමණ ළමා කොවිඩ් රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.
මෙරටින් වාර්තා වන දෛනික ළමා කොවිඩ් රෝගීන් සංඛ්‍යාවන්හි වර්ධයක් ඇතිව තිබේ ද? යන්න සම්බන්ධයෙන් අපි කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
අප කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා මෙලෙස සඳහන් කළේය.
මේ වන විට දෛනිකව වාර්තා වන ළමා රෝගීන් ගණන සහ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ළමා රෝගීන් ගණන කීය ද?
“ලංකාවේ ම ගැන නං නිල වාර්තා නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝගීන් 4ක් 5ක් විතර වාර්තා වෙනවා. නිල වාර්තා හැම තැනින් ම නැති නිසා හරියට ම කියන්න අමාරුයි. දැන් 500 වාර්තා වෙලා කියනවා. හැබැයි 500 වඩා නං කීප ගුණයක් වැඩියි. නිල වාර්තාවක් නෑ. ඒත් 500 නෙවේ පැහැදිලිව ම. ඊට වඩා කීප ගුණයක් ඉන්නවා අපේ රටේ ළමා රෝගීන්. ඊට වඩා වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවා.”
ළමා රෝගීන් වාර්තා වීම නිසි ගණනයක් වෙන්නේ නැද්ද ඒ කියන්නේ?
“ගණනය කිරීමක් වෙනවා. සංඛ්‍යාලේඛන තියෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. අපි කියන එක වැරදිනේ. ළමා රෝග විද්‍යා ආයතනය වශයෙනුත් ගණනය කිරීමක් වෙනවා.”
මේ වෙද්දි ළමුන් අතර කොවිඩ්-19 රෝගය පැතිරී යාමේ වැඩි වීමක් ද තියෙන්නේ?
“වැඩිවීමක් කියන්නේ, සාමාන්‍ය තියෙන ප්‍රමාණයෙන් ම තමා ළමා රෝගීන් වාර්තා වෙන්නේ. අමාරු අසාධ්‍ය තත්ත්වයට පත්වෙනවා අඩුයි. කොවිඩ් කිසි ම ලක්ෂණයක් නැතිව CT, MRI එකක් වගේ පරීක්ෂණයක් කරද්දි, එහෙම කට්ටය අහම්බෙන් හම්බෙච්ච අයත් ඉන්නවා. අසාද්‍ය තත්ත්වයේ ඉන්න අය නෑ. ඒක හොඳ ප්‍රවණතාවයක්.”
වැඩිහිටියන්ට තරමට ම මෙම රෝගය ළමුන්ටත් දැඩි බලපෑම් කරනවා ද?
“ඒක ඔතන දැන් තියන ප්‍රශ්නේ වැඩිහිටියන්ට සාපේක්ෂව ළමයින්ට හැදෙන ප්‍රතිශතය අඩුයි. ලෝක මට්ටමෙන් ගත්තත් 10%ක් වගේ තමා වාර්තා වෙන්නේ. පොඩි ප්‍රමාණයකට තමා සංකූලතා එන්නේ. ඒක හොඳ ප්‍රවණතාවක්. බහු අවයව පද්ධති ප්‍රශ්නෙත් තියෙනවා මෙතන. ළමයි කීප දෙනෙක් වාර්තා වෙලත් තියෙනවා. කොවිඩ් හැදුණු ළමයි 5000න් එක්කෙනෙකුට වගේ තමා රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ.
සාමාන්‍යයෙන් කොවිඩ් මරණ 10ක් විතර වාර්තා වෙලා තියෙනවා. 18ට අඩු අය. සමහරු ඉස්පිරිතාලෙට ගේන්න පරක්කු වුණු නිසා ගේන්න සිදුවෙන ප්‍රමාදය නිසා පහුගිය කාලෙ පොඩි අය මිය යෑම සිද්ධ වුණා. එක ළමයෙක් ගේනකොට ම මිය ගියා. තවත් ළමයෙක් දවස් ගාණකින් මියගියා.”
ළමුන්ට කොව්ඩ් වැළඳීමෙන් වළක්වා ගැනීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් විය යුත්තේ කොහොම ද?
“මේ දවස්වල ඩෙංගු තියෙනවා. කොහොමත් ළමයි වැස්ස වගේ එක්ක ඉක්මනින් අසනීප වෙනවා. කොවිඩ් නිසා දෙමාපියෝ ඒ ළමයි රෝහල්වලට ගේන්න නැති එක, එක හේතුවක්. හොස්පිට්ල්වලට ගේනකොට ම කොවිඩ් තියන අය නැති අය අඳුනගන එනකොට ම වෙන් කරලා තමා යොමු කරන්නේ.
ළමයෙක්ට අසනීපයක් තියෙනවා නං, උණ තියෙනවා නං, වමනේ, බඩේ කැක්කුම, තෙහෙට්ටුව තියෙනවා නං, කන්නේ බොන්නේ නැත්තං, පාචනය වගේ නං පරකකු නොවී ඉක්මනින් රෝහලට ගේන්න කියලා තමා ළමා රෝග විද්‍යා ආයතනයේ ලේකම් විදියට දෙමාපියන්ට දෙන්න තියන පණිවිඩයක් විදියට කියන්න තියෙන්නේ.”






