Press "Enter" to skip to content

ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය? : මාදිවෙල මොක ද වෙන්නේ?

ඉන්දියානු කොරෝනාවෛරස ප්‍රභේදය වන ඩෙල්ටා කොරෝනාවෛරස ප්‍රභේදය ආසාදනය වූවෙකු ඇති බවට සැක මතුවීම හේතුවෙන් මාදිවෙල-ප්‍රගතිපුර ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, අදාළ ප්‍රදේශයට ප්‍රාදේශීයව සීමා පනවා ඇති බවය.

“පළාත ම වහන්න තරම් අපිට හදිස්සි වෙන්න බෑ. මොක ද තාමත් එකක්වත් තහවුරු කරලා නැහැ නේ තාම. සැක කටයුතු ලෙඩෙක් හින්දා නේ මේ සේරම කරන්නේ.”

මේ අතර, ඩෙල්ටා කොරෝනාවෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන මාදිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ මවට ද කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඇය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

“සරලව කිව්වොත් කොළඹ පැත්තේ කරපු පරීක්ෂණයකදී තමයි ඔය ඩීවියේෂන් තියෙන පුද්ගලයෙක් හමු වුණේ. එතකොට ඒ පුද්ගලයාගේ පදිංචිය මාදිවෙල නිසා, මාදිවෙල ප්‍රදේශයේ එයාගේ අශ්‍රිතයින්ට පරීක්ෂණ කළා. කරනකොට තමයි එයාගේ මවට, මට මතක හැටියට එයා පොසිටිව් වුණා.”

ඒ අනුව, මේ වන විට එම ආසාදිත කාන්තාවගේ ද ආශ්‍රිතයන් පරීක්ෂණ සඳහා යොමු කරන බව ඒ මහතා පැවසීය.

“ඊට පස්සේ ඒ අයගෙත් ආශ්‍රිතයොත් බලාගෙන යනවා. තව ම වෙන කවුරුවත් පොසිටිව් වෙලා නැහැ. එක්කෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. ඒක හැබැයි පොසිටිව් වුණාට අර සී.ටී. කවුන්ට් එක හුඟාක් වැඩියි. ඒ කියන්නේ, පරණ හැදිලා සනීප වුණ කෙනෙක් විදියට තමා අපි සලකන්නේ. ඉතා ම අඩු වෛරස් ප්‍රමාණයක් තියෙන එක්කෙනෙක් තමා හමු වෙලා තියෙන්නේ. අම්ම කොහොමත් පොසිටිව් නිසා අම්මා වෙන ම අයි.ඩී.එච්. එකට යවලා ප්‍රතිකාර කරනවා.”

මේ සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඒ මහතා සඳහන් කළේ, අදාළ ප්‍රදේශයෙන් ලබා ගත් වෛරස සාම්පලවල ජානමය විශේල්ෂණ කටයුතු තවමත් අවසන් කර නොමැති බවය.