Press "Enter" to skip to content

ඩෙල්ටා ප‍්‍රභේදය එංගලන්ත ඇල්ෆා ප‍්‍රභේදයට වඩා සියයට 60 ක වේගයකින් පැතිරෙන බව හෙළිවෙයි

ඉන්දියාවෙන් ප‍්‍රථම වරට හඳුනාගනු ලැබූ ‘ඩෙල්ටා’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය එංගලන්ත කොරෝනා වෛරස් ප‍්‍රභේදය වන ‘ඇල්ෆා’ ප‍්‍රභේදයට වඩා සියයට 60ක වේගයකින් සමාජය තුළ පැතිරීම සිදු වන බව අධ්‍යයනවලදී අනාවරණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාතන් විසින් ප‍්‍රකාශ කර තිබේ.

මේ වන විට ලොව පුරා රටවල් 80කට අධික සංඛ්‍යාවකට මෙම වෛරස් ප‍්‍රභේදය පැතිර ගොස් ඇති අතර එය වර්තමානයේ ලොව පවතින බලවත්ම කොරෝනා වෛරස් ප‍්‍රභේදය බවට පත්ව ඇති බව වෛද්‍ය ස්වාමිනාතන් සඳහන් කර තිබේ.

‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය ලොව පුරාම පැතිර යන තත්ත්වයක් පවතින අතර එය පැතිර යන අතරතුර වෛරසයේ තවත් විකෘතිතා මතු වෙමින් වෙනස් වෛරස් ප‍්‍රභේද මතුවීම සිදුවනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන විද්‍යාඥවරිය සඳහන් කර තිබේ. මේ අතර මෙතෙක් කොරෝනා වසංගතය යම් මට්ටමකට පාලනය වී තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේද ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය පැතිර යෑම හේතුවෙන් නැවත වසංගතය වැඩි වන තත්ත්වයක් මතුව තිබේ.

ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 10කට වැළඳී ඇත්තේ ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය බව හෙළි වී තිබේ. ජර්මනිය ඇතුළු යුරෝපා රටවලද මෙම වෛරස් ප‍්‍රභේදය හිස ඔසවන තත්ත්වයක් පවතින අතර මේ වන විට ලොව පුරා ප‍්‍රභේදයට ගොදුරු වී මිය ගිය අය අතර කොරෝනා මර්දන එන්නතේ එක් මාත‍්‍රාවක් හා මාත‍්‍රා දෙකම ලබා ගත් අයද සිටින බව වාර්තා වී තිබේ.