Press "Enter" to skip to content

කොවිඩ් එන්නත හේතුවෙන් පුද්ගලයෙකු මිය ගිය බව පළමු වරට ඉන්දියාව තහවුරු කරයි

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත හේතුවෙන් ඇති වූ ආසාත්මිකතාවක් නිසා ඉන්දියාවේ ප්‍රථම වරට පුද්ගලයෙකු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, පූර්ණ එන්නත්කරණයට ලක් වූ වයස අවුරුදු 68ක පුද්ගලයෙකි.

මෙම මරණය මාර්තු 31 වන දින සිදු වී ඇති අතර එය එන්නතේ ප්‍රතික්‍රියාවක් හේතුවෙන් හට ගත් ආසාත්මිකතාවකින් වූ මරණයක් බවට නම් කර ඇත.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ජනවාරි මාසයේ ආරම්භ කළ අතර එදින පටන් එන්නත් ලබා ගැනීමෙන් පසු සංකූලතා හට ගත් පුද්ගලයන් 31 දෙනෙකු වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන් තිදෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූ ප්‍රතික්‍රියා හේතුවෙන් සංකූලතා මතු වූ බව වාර්තා වේ.

එලෙස එන්නත ලබාගෙන පැය භාගයක් ඇතුළත සංකූලතා මතු වූ පුද්ගලයින් තිදෙනා අතරින් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව නිවෙස් කරා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මිය ගොස් තිබේ.

නමුත් එලෙස ඇති වන බොහෝ සංකූලතා කළමනාකරණය කර ගත හැකි බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.