Press "Enter" to skip to content

Oxford-AstraZeneca එන්නතෙහි දෙවන මාත්‍රාව නොලැබුණු අයට සුබ ආරංචියක්

Oxford-AstraZeneca Covishield එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් සියලු දෙනාට දෙවන මාත්‍රාව අගෝස්තු මාසයට පෙර ලබා දීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජූනි 8) දින පාර්ලිමේන්තුවේදී ය.

Oxford-AstraZeneca Covishield එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් පිරිසෙන් 575,000කට ආසන්න පිරිසකට දෙවන මාත්‍රාව ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කළේය.

පසුගිය වර COVAX පහසුකම මගින් මෙරටට ලබා දුන් Oxford-AstraZeneca එන්නත් 264,000ට අනුරූපව තවත් එන්නත් 264,000ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩපිළිවෙළ යටතේ නැවතත් මෙරටට ලබා දෙන බව ඔවුන් දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව, එම එන්නත් 264,000 ලබන ජූලි මස මුල් සති 2 ඇතුළත මෙරටට ලබා දෙන බව ඔවුන් දැනුම් දුන් බව ය.

තව ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද AstraZeneca වර්ගයේ එන්නත් ලබා දෙන ලෙස මෙරටින් ඉල්ලීමක් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව AstraZeneca එන්නත් ලබා ගැනීම සඳහා තවත් රටවල් කිහිපයක් සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව, ජූලි මාසය ඇතුළත එම එන්නත් සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශේෂයෙන් ම AstraZeneca එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන මාස 6ක කාලයක් යන තෙක් එහි බලයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ තාක්ෂණික වාර්තාවක් මගින් ප්‍රකාශ කළ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එම හේතුවෙන් එහි දෙවැනි මාත්‍රාව මාස 6ක කාලයක් තුළ ලබා දීම ප්‍රමාණවත් වන බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.