Press "Enter" to skip to content

කොරෝනාවෙන් සුවය ලැබූ සැලකිය යුතු පිරිසකට ශ්‍රවණාබාධ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්

කොරෝනාවෛරසය ආසාදනය වී සිට සුව වූ පසුව ද පැවතිය හැකි රෝග ලක්ෂණ කිහිපයක් අතර ශ්‍රවණාබාධයන් ද පවතින බව ඉන්දියාවේ ශ්‍රවණාබාධ සම්බන්ධ විශේෂඥයෙකු වන වෛද්‍ය සුගතා භට්ටාචාර්ය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2021 වර්ෂයේ මැයි මාසය වන විට කොරෝනාවෛරසය වැළඳී දිවි බේරාගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 162කට අධිකය.

එම පිරිස අතර තවමත් කොවිඩ්-19 හේතුවෙන් ඉතිරි වුණු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ද මිලියන ගණනක් වේ.

කොවිඩ් රෝගයෙන් සුවය ලැබීමෙන් අනතුරුව ශ්‍රවණාබාධවලට ලක්වූ පුද්ගලයින් ප්‍රතිශතය සුව වූ පිරිසෙන් 5% ක් පමණ වන බව එම ශ්‍රවණ විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.

එම ප්‍රමාණය ගණනින් මිලියන 8 ක් පමණ වන බවත් එම පිරිසට ප්‍රතිකාර කිරීම අවශ්‍ය වන බවත් වෛද්‍යවරයා පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රතිකාර නොකරන ලද ශ්‍රවණාබාධ හේතුවෙන් සිදුවන ආර්ථික හානිය වාර්ෂිකව ඩොලර් බිලියන 750 ක් වන අතර එය කොවිඩ්-19 හේතුවෙන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවය.

කොරෝනාවෛරසයට පෙර පැවති දරුණු සාර්ස් වෛරසය (SARS) සහ මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) යනාදියෙන් ඇසීම සහ ශරීර සමබරතාව සම්බන්ධ රෝග ලක්ෂණ වාර්තා නොවූවත් කොව්ඩ්-19 රෝගයෙන් පෙළෙන අය තුළ මෙම රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බව එම වෛද්‍යවරයා පවසයි.

කොරෝනාවෛරසය ආසාදනය වී රෝහල්ගත වූ පුද්ගලයින්ගෙන් 13% ට පමණ ඇසීම සම්බන්ධ වෙනස්කම් සහ කන්වල නාදවීම් (ශබ්ද රැව්දීම්) යනාදිය රෝහලෙන් පිටව පසු ඇති වී තිබෙන බව සඳහන් වේ.

වඩාත් සුලබ රෝග ලක්ෂණ ලෙස ඒ අතර කන් කැක්කුම, කරකැවිල්ල ආදිය සති 8 ක් දක්වා පැවතිය හැකි බව ද හඳුනාගෙන ඇතැයි එම ශ්‍රවණ විශේෂඥවරයා පවසයි.

වෛද්‍ය භට්ටාචාර්ය පවසන්නේ, එවැනි රෝග ලක්ෂණ ඇත්නම් ඔවුන් වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු අතර ශ්‍රවණ විශේෂඥයෙකු හමුවීම ඉතා වැදගත් බවය.

මෙම ශ්‍රවණය සම්බන්ධ ආබාධ ඇති වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද වෛද්‍යවරයා හඳුන්වා දී තිබේ.

ඒවා මෙසේය…

*වෛරසයෙන් කර්ණ ශංඛය හෝ අභ්‍යන්තර කනෙහි නහර ඉදිමීම හෝ ශ්‍රවණ ස්නායුවට හානි සිදුවීම.

*අභ්‍යන්තර කනෙහි ප්‍රතිදේහජනක සහ T-සෛල විනාශ විය හැකිය.

*හදිසියේ ඇසීම අහිමි වීම පවා සිදුවිය හැකිය.

කොව්ඩ්-19 වැළඳීමෙන් පසු ඇති වන රෝග ලක්ෂණයක් ලෙස ශ්‍රවණාබාධ ඇතිවීම් පිළිබඳ අධ්‍යයනය කළ සිද්ධි 30 කට අනුව ශ්‍රවණාබාධ ඇතිවීමේ ප්‍රවණතාව 7.6% ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

කනෙහි ඇති වන රැව්දීම් යන රෝග ලක්ෂණය සහ මානසික රෝග ලක්ෂණයක් වන කාංසිය වැනි තත්ත්ව අතර සහසම්බන්ධතා ඇති වන බව ද ඉන් නිගමනය වී තිබේ.

කන හා සම්බන්ධ එවැනි ශබ්ද රැව්දීම් ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් රාත්‍රී අඩු නින්දක් ලබන බව වාර්තා වී ඇති අතර එහෙයින් එය රැකියාවලට බලපෑමෙන් ආර්ථික හානියක් ද ඇති කරන බව එම පර්යේෂණ තුළින් හඳුනාගෙන තිබේ.

කොවිඩ්-19 වැළඳුණු පුද්ගලයන්ට කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ ද සුලබව දක්නට ලැබෙන බව එම අධ්‍යයනයන්ගෙන් හඳුනාගෙන තිබේ.