Press "Enter" to skip to content

තව ම රෝගය තියෙන්නේ පොකුරු තත්ත්වයේ…සමාජ ව්‍යාප්තියක් නෑ

පවතින කොවිඩ් තත්ත්වය සමග අප සිටින්නේ කුමන පියවරේ ද? අප සිටින්නේ තුන්වන රැල්ලේ ද?

මේ වෙලාවේ cases වැඩි වෙනවා. මීට වැඩි වෙයි ද නැත්නම් මේ ගාණෙන් නවතියි ද කියලා දැන් ම කියන්න අපි ඉක්මන් වැඩියි. ඒක අපි ඉස්සරහට බලන්න ඕන. නමුත් අපි බලමු. නමුත් පසුගිය කාලේ තියෙන අත්දැකීම් හා cases report එක්ක තව සුමානයක් විතර ගිහින් තමයි තත්ත්වය කියන්න වෙන්නේ.

ලෝකයේ රටවල් එහි ජනගහනය අනුව කොවිඩ් පියවර තත්ත්වය ගැන යම් සැසඳීමක් තිබෙනවා. ශ්‍රී ලංකාව දැන් බරපතළ තත්ත්වයට ඇවිත් ද නැත්නම් පැමිණෙමින් සිටිනවා ද?

ඒ කියන්නේ, කොවිඩ්-19 රෝගය පැතිරෙන හැටි සුමානෙක ඉඳලා වගේ cases එන්න එන්න ම වැඩි වෙනවා. ඒක වෙන දාට වඩා වේගයෙන් වැඩි වෙනවා. නමුත් ගොඩක් ම වේගයෙන් වැඩි වුණේ නෑ. ඒක නිසා මේ තත්ත්වය මේ විදිහට දිගට ම ගියොත් මේ යන වේගයට රෝගීන් අපට හඳුනාගන්න බැරි වෙනවා. එය සමාජය දක්වා පැතිර යෑම සිද්ධ වෙන්න පුළුවන්. ඒක තව ඉස්සරහට සිදුවන ආකාරය අනුව තමයි කියන්න වෙන්නේ.

ඒ කියන්නේ කොවිඩ් සමාජය දක්වා පැතිරී නැද්ද තව ම?

තවමත් අපට ලෙඩ්ඩුන්ගෙන් බහුතරයක් වාර්තා වෙන්නේ අපි දන්න පොකුරුවලින් ආශ්‍රිතයන්ගෙන්. තව ම රෝගය තියෙන්නේ පොකුරු තත්ත්වයේ.

මේ මොහොතේ පැතිරීමට ලක්ව ඇත්තේ බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදයක් බවත් මෙය පෙරට වඩා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. විශේෂයෙන් මුල් පියවරේ ම පවතිනවා කියන නිව්මෝනියා තත්ත්වය. මෙයට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යයි?

රෝගීන් ප්‍රමාණය වැඩි වීමේ අනුපාතයට මරණ වැඩි වෙන්න පුළුවන් සිද්ධියක්. එනකොට 100ක් ඇවිත් 3ක් මැරෙනවා කියලා අපි හිතමු. එතකොට දැන් cases 1000ක් ආවොත් 30ක් මැරෙනවා. එතකොට මරණ ගාණ වැඩිවෙනවා. නමුත් ලෙඩේ හැදුණු 100:3, 1000: 30යි. එතකොට ප්‍රතිශතයේ වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේ තත්ත්වයක් තමයි මේ බ්‍රිතාන්‍යයේ ප්‍රභේදයේ මුලින් ම කිව්වේ. නමුත් අපේ තියෙන සම්පත් පාවිච්චි කරලා රෝහල්වලට නිසි විදිහට admit කළා ම හොඳට ප්‍රතිකාර කරනවා. හැමදේක ම තීරණාත්මක වෙන්නේ රෝගීන් කොච්චර ඉක්මනට අපි අඳුනගන්නව ද ඒගොල්ලෝ කොයි තරම් ඉක්මනට රෝහලට ඇතුල් කරලා ප්‍රතිකාර කරනවා ද කියන එකයි මත. අනිත් පැත්තෙන් රෝගීන් වැඩිවෙන එක නවත්තන්න අපි මොනවා ද කරන්නේ කියන එක මත.

නිව්මෝනියා තත්ත්වය එක්ක අතුරු ආබාධ වැඩි වෙන්න පුළුවන් ද නව ප්‍රභේදයත් සමග?

මේ වෙලාවේ රෝග ලක්‍ෂණ වැඩි අය එනවා. ඔක්සිජන් අවශ්‍ය අයත් එනවා. අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා නිව්මෝනියා තත්ත්වයේ සිටින අයත් වැඩි වෙන්න පුළුවන්.

විශේෂයෙන් ම ලොව පුරා කොවිඩ් පැතිර යන මුල් අදියරේදී සිට අනුගමනය කළේ ළඟ ම ආශ්‍රිතයන් ලුහුබැඳීම. එය දැන් සිදු නොවන්නේ ඇයි?

ඕක මුලදිත් කිව්වනේ. අපිට මේක හෝද හෝද මඩේ දානවා වගේ ඔය කතාව කියන්න බෑ. අපි දිගින් දිගට ම කියලා තියෙනවා. අපි අවශ්‍ය විදිහට අවශ්‍ය වේගෙන් ආශ්‍රිතයන් හඳුනා ගැනීම කළා. පරීක්‍ෂණ කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළා වසංගතය පාලනය කළ හැක්කේ කොවිඩ් එන්නත හරහා පමණක් බව. නමුත් මේ වෙද්දී ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් ඇතැමුන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව සිටිනවා. එහි ඵලදායිතාව ගැන එතකොට ප්‍රශ්නයක් තියෙනවා නේ ද?

එන්නත ගත්තම 100%ක සඵලතාවක් නෑ. 70%-80% අතර ප්‍රමාණයේ තමයි තිබෙන්නේ. ඒකෙ දෙවන එන්නත දෙන්න ඕනෑ නිසි පරිදි. එතකොට තමයි ප්‍රතිශක්තිය වැඩි වෙන්නේ. ඒ වගේ ම 70%ක් 80%ක් කියන්නේ එන්නත ගත්ත ම යම් කිසි ප්‍රතිශතයක් රෝගයට ගොදුරු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි පැහැදිලව ම දැක්කා පසුගිය කාලේ රෝහල් කාර්ය මණ්ඩලවල රෝගය ව්‍යාප්ත වීම හොඳට ම අඩු වුණා. ඒකට බලපෑවේ එන්නත ලබාගැනීම නිසා. වරාය කියන්නේ අපිට දිගටම cases ආපු තැනක්. පාලනය කරගන්න බෑ. මොකද වරාය වහන්නත් බෑ. නමුත් වරාය සේවකයන් එන්නත් ගත්ත හින්දා අපට රෝගය පාලනය කරගන්න හැකි වුණා. ඒ විදිහට ගත්ත ම අපිට මේ එන්නතේ සාර්ථකත්වය දකින්න තියෙනවා. අපේ cases දවසට 150ට වඩා අඩු ප්‍රමාණයකට ගියා. සුළු දේ දිහා බලලා ලොකු පින්තූරයක් අඳින්න බෑ. දෙන්නෙක් තුන් දෙනකුට රෝගය හැදුණා කියලා එන්නත වැඩක් නෑ කියන්න බෑ. ඒක හින්දා තමයි අපි හැමෝට ම කියන්නේ එන්නත ගත්තොත් සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් දිගටම පිළිපැදිය යුතුයි කියලා.

අතුරු ආබාධ මූලික කරගෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැන සමාජයේ විශාල බියක් හටගෙන තිබෙනවා. ඇතැම් රටවල් මෙය තහනම් කළා. සෞඛ්‍ය අංශයේ නිල ප්‍රකාශය ඉතා වැදගත්. සාමාන්‍ය ජනතාවට මෙය පැහැදිලි කළ යුතුව තිබෙනවා.

මෙහෙමනේ එන්නත් ගත්ත ම ඕනෑ ම එන්නතක අතුරු ආබාධ තියෙනවා. පැරසිටමෝල්වලට වුණත් අතුරු ආබාධ තියෙනවා. සමහර අයට පැරසිටමෝල් ගන්න බෑ. ඒ වගේ තමයි මේ එන්නත්වලටත් අතුරු ආබාධ තියෙනවා. එතකොට ඒ අතුරු ආබාධ අපි බලාපොරොත්තු වෙනවා. මුලින් ම කියන්න ඕනෑ අතුරු ආබාධයක් කියන්නේ එන්නත ගත්තට පස්සේ යම් කිසි කෙනකුට මතු වන රෝගී තත්ත්වයක්. එතකොට මේක වෙන්න හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රධාන හේතු ගත්තා ම එකක් තමයි වැක්සීන් එකේ තියෙන quality එකේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ වැක්සීන් එකට බැක්ටීරියාවක් ගිහින් තිබ්බොත් ඒක එන්නත් කළාට පස්සේ එයාට යම් රෝග ටිකක් එන්න පුළුවන්. එතකොට එන්නතේ තියෙන ගුණාත්මකභාවයන්වල ප්‍රශ්නයක් නෙමේ.

එන්නත අපි හොඳට පිරිසුදු කියලා නැති හින්දා තමයි ඒ ප්‍රශ්නෙ. දෙවන කාරණය අපි එන්නත දෙන ක්‍රමය හින්දා තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි එන්නත දෙන්න ඕනෑ මස්පිඬුවට. නමුත් අපි ඒක හම ඇතුළට දෙනවා. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ අපි technic එක පාවිච්චි කළ යුතුයි. ඒ වගේ ම එන්නත නිසා එන anxiety ගතිය. ඒ කියන්නේ එන්නතකට තියෙන බය ගතිය නිසා ඇතිවන අතුරු ආබාධ. සමහර වේලාවට ඉන්ජෙක්ෂන් කට්ට ඇන්නම ක්ලාන්තේ හැදෙන කට්ටියත් ඉන්නවා. එතකොට ඉන්ජෙක්ෂන් එක ගහපු ගමන් ඒ අයට සිහි නැතිවීම, ක්ලාන්තය එන්න පුළුවන්.

ඒ වගේ ම තමයි ඉස්කෝලවල මේක දකින්න තියෙනවා. එක ළමයෙක්ට ක්ලාන්ත හැදුනා ම හත් අට දෙනෙක් ක්ලාන්තෙ හැදෙනවා එන්නත ගැහුවට පස්සේ. ඊළඟට තව කණ්ඩායමක් ඉන්නවා එන්නත ගත්තා, යම්කිසි සිද්ධියක් වෙන්න පුළුවන්. ඒක අහම්බෙන් සම්පාත වීමක්. නමුත් එක අතකට කිසිදු සම්බන්ධයක් නෑ. එන්නත ගහලා එද්දී එක්කො වාහනේකට හැප්පෙනවා. ඒක එන්නත එක්ක සම්බන්ධ නෑනේ. ඒ වගේම එන්නත ගත්තට පස්සේ කෙනෙක් හෘදයාබාධයක් හැදිලා මැරෙන්න පුළුවන්. හැබැයි එයා මැරෙන්න හිටිය කෙනෙක්.

එන්නත නොගත්තත් හෘදයාබාධ හැදිලා මැරෙන්න හිටපු කෙනෙක්. නමුත් එතනදි කියන්න පුළුවන් එන්නත හින්දා මියගියා කියලා. ඔය ඔක්කොම පැත්තකින් තිබ්බ ම කියන්න පුළුවන් එන්නත ගත්තට එන අතුරු ආබාධයන්. උණ ගන්නවා, ඇඟපත වේදනාව එනවා. ඒ වගේ ම සමහර සුළු අතුරු ආබාධ තියෙනවා. ඒ වගේ ම දරුණු අතුරු ආබාධ තියෙනවා. මේ අතුරු ආබාධ පොදුවේ බහුලයි. සමහර ඒවා තියෙනවා කලාතුරකින් එන්න පුළුවන්. මෙතන දී අපට කලාතුරකින් එන අතුරු ආබාධ ප්‍රශ්නයකුත් නෑ. සුළු අතුරු ආබාධ ප්‍රශ්නයකුත් නෑ කියලා අපි ගන්න ඕනෑ. පසුගිය කාලේ දැක්කා එන්නත ගත් සමහරුන්ට උණ හැදුණා. ඇඟපත වේදනාව ආවා. ඒවා අපි ගණන් ගන්නේ සුළු අතුරු ආබාධ හැටියට. ඒක ප්‍රතිකාරයක් නැතිව සම්පූර්ණ වෙනවා. ඒ වගේ ම සමහර වේලාවට මේ ඉන්ජෙක්ෂන් එක ගත්ත ම කෙනකුට ඇලර්ජි වෙලා shock එකක් ඇවිත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒවා සුළු අතුරු ආබාධ. එහෙම එකක් මේ එන්නතට සිද්ධ වුණේ ම නෑ.

මේ එන්නත හරහා රුධිරය කැටි ගැසීමක් වන බව ප්‍රධාන වශයෙන් මතුවූ කාරණය. එහි හරය මොකක් ද?

ඔව් මේ එන්නත හැදුණේ අවුරුද්දක් ඇතුළත. එතකොට මේ එන්නත සාර්ථක ද කියලා බලන්න පර්යේෂණ කරනකොට සාමාන්‍යයෙන් 40,000-50,000ක අතර පිරිසකගේ තමයි බලන්නේ. එතකොට බොහො ම කලාතුරකින් හැදෙන අතුරු ආබාධයක් වුණොත් ඒ 40,000 කට 50,000කට ගැහුවා කියලා ඒක නොපෙනෙන්න පුළුවන්. ඒක එතකොට අපි පස්සේ තමයි හොයාගන්නේ. ඒ එන්නත් ගහලා දිගට ම ඒ එන්නත් ගහන අයව ලෝකයේ පසුවිපරම් කරලා හොයා ගන්නවා. මේ එන්නත ගත්තට පස්සේ ඉතා ම කලාතුරකින් ඔහුගේ ඇඟේ තියෙන රුධිර පට්ටිකා අඩුවීමක් සහ රුධිර පට්ටිකා කැටි ගැසීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙලක්‍ෂපනස්දාහක් ඉන්ජෙක්ෂන් ගැහුවොත් එක්කෙනකුට හැදෙන්න පුළුවන්. අනුපාතය ඉතා පහළයි. දරුණු අතුරු ආබාධ ඒ තරම්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.

නමුත් මේ අවස්ථාවේ අපි බලන්න ඕනෑ ඒ එන්නත දීමෙන් තිබෙන වාසියයි එන්නත නොදීමෙන් තියෙන අවාසියයි මොකක් ද කියලා. අපි දන්නවා කොවිඩ් හැදෙන්න පුළුවන්. හැදුණොත් නිව්මෝනියාව හැදිලා මැරෙන්න පුළුවන්. ඒවගේ දරුණු සංකූලතා එන්න පුළුවන්. ඒ වුණාට තවත් අයට බෝවෙනවා. රට වහන්න පුළුවන්. එවැනි දේවල් තියෙනවා. ඒ ඔක්කොම ගත්තම 250,000:1ක් මිය යෑමේ අවදානමක් තියෙනවා කියන එක ඉතාම කලාතුරකින් සිදු වෙන දෙයක්. ඒ වගේ ම තමයි මේකෙ රෝග ලක්‍ෂණ අපිට හඳුනාගන්න පුළුවන්. ක්‍ෂණිකව වෙන දෙයක් නෙමේ.

ඔබ කලින් සඳහන් කළ ආකාරයට වැක්සීනයට බැක්ටීරියා ඇතුළු වීමක් හෝ වෙනස්කමක් සිදුවීම හරහා එහි ගුණාත්මකභාවයට හානි වීමේ ඉඩ අපේ රටේ පවතිනවා ද? විශේෂයෙන් අපේ ප්‍රවාහන පද්ධතියේ දුර්වලතා සමග?

අපි හැම අවුරුද්දෙ ම, හැම මාසෙ ම එන්නත් බෙදනවා රට පුරා. ළමුන්ගේ එන්නත් ඒ ශීතකරණයේ ශීත තත්ත්වයේ ම තමයි මේ එන්නතත් තියෙන්නේ. ඉතින් අපිට සාමාන්‍ය දෙයක් මේ එන්නත් බෙදන එක. ඒ ශීතදාමයේ ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පෙර සූදානම අපි ළඟ තියෙනවා. එන්නත් මධ්‍යම ගබඩාවට ගබඩා කළාට පස්සේ ඒ එන්නත්වල උෂ්ණත්වය තියෙනවාද කියලා බලන්න අපිට නිරීක්‍ෂණ පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතියෙන් අපිට ලෝකයේ කොහේ හිටියත් ඒ උෂ්ණත්වය බලන්න පුළුවන්.

මේ වනවිට දෛනික පී.සී.ආර්. ප්‍රමාණය කොපමණක් ද?

ඒ ඉලක්කම තේරුමක් නෑ. මේ වනවිට පී.සී.ආර්. 15,000-16,000ක ප්‍රමාණයක් කෙරෙනවා. ඒ ඉලක්කම කිසි ම වටිනාකමක් නැති ඉලක්කමක්. කරන ප්‍රමාණය කොච්චර ද නෙමේ බැලිය යුත්තේ පී.සී.ආර්. කරනවා ද කියලා. අපිට මේ රටේ මේ රෝගීන් හඳුනා ගැනීම සඳහා අපිට කරන්න ඕනෑ පී.සී.ආර්. ප්‍රමාණය අපි කරනවා. මේක වැඩපිළිවෙළක් විදිහට කරන්න ඕනෑ ප්‍රමාණය අපි කරනවා රෝගීන් අඩු වෙනකොට ඒ ප්‍රමාණය ඉබේ ම අඩු වෙනවා.

දැන් තියෙන තත්ත්වය සමග පී.සී.ආර්. 100ක් සිදු කළ හොත් එම 100ට ආසාදනය වන ප්‍රමාණයේ අනුපාතය කොපමණක් ද?

ඒක අපි ගණනය කර නැහැ. ඒක ගණනය කළ හැකියි. මේ වගේ outage එකක් යන වෙලාවක ඒ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්.

පසුගිය මාසය තුළ පී.සී.ආර්. ප්‍රමාණය විශාල ප්‍රමාණයක් අඩු කළ බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙනවා. උත්සව සමයෙන් පසු පරීක්‍ෂණ ප්‍රමාණය වැඩි කරන්න හේතුව කුමක් ද?

ඒ කාල සීමාවේ පී.සී.ආර්. අඩු කළා. ඒ පී.සී.ආර්. පරීක්‍ෂණ අඩු වෙන්නේ අපි මුලින් ලෙඩ්ඩු 500ක් හම්බ වෙන කාලේ කියලා හිතමු. ඒ 500ක් හඳුනා ගත්ත ම ඒ ලෙඩ්ඩුන්ගේ ආශ්‍රිතයෝ ඉන්නවා. ඒ ආශ්‍රිතයෝ නිරෝධායනය කරලා අපි පී.සී.ආර්. කරනවා. සමහර වෙලාවට ඒ ආශ්‍රිතයන් හඳුනා ගත්ත ගමනුත් පී.සී.ආර්. කරනවා. ඒ ආසාදිතයා නිරෝධායනය කරලා ඉවර වුණාමත් පී.සී.ආර්. කරනවා. අපි හිතමු එක් පුද්ගලයකුට එක පී. සී. ආර්. පරීක්‍ෂණයක් කරන්නේ කියලා. එක්කෙනෙක්ට ආශ්‍රිතයෝ 5ක් ඉන්නවා නම් 500ක් ආසාදිතයෝ සොයා ගද්දී එතනට 2500ක් ඉන්නවා. එතකොට අපි දවසට හොයාගත්තේ ලෙඩ්ඩු 100ක් නම් ආශ්‍රිතයෝ 500ට අඩු වෙන්න ඕනෑ. ඒ විදිහට අනිවාර්යයෙන් ම අඩුවන ප්‍රමාණයක් ඉන්නවා පී.සී.ආර්. කරන. දැන් ඔය පී.සී.ආර්. පරීක්‍ෂණ කරන ඉලක්කමේ තියෙනවා ඔය ඔක්කොම ජාති.

ඒ ලෙඩ්ඩු අඩුවෙනකොට එහෙම අඩු වෙන ගාණක් තියෙනවා. ඒ අඩු වුණයි කියලා අපි කිසි ම වෙලාවක අපි කරන අහඹු පරීක්‍ෂණ කිසිවිටෙකවත් අඩු කරලා නෑ. ඒක දිගට ම කළා. ඇත්ත වශයෙන් ම ප්‍රතිශතයක් විදිහට තියෙන ප්‍රමාණය වැඩිවෙනවා. සමස්තයක් ගත්ත ම පී.සී.ආර්. අඩුවෙනවා. ඒ අඩු වීම තාර්කිකයි. ඒ කරලත් අපි වැඩිපුර පී.සී.ආර්. වැඩිපුර කළොත් රටේ සම්පත් නාස්ති කිරීමක්.

කෙසේ නමුත් දෛනික ආසාදිතයන් හා මරණ දත්ත හරි සංඛ්‍යාව ඉදිරිපත් නොකරන බවට තර්කයක් තිබෙනවා. එසේ දත්ත සැඟවිය හැකි ද? දත්ත සඟවනවා නම් එය බලපාන්නෙත් රටට ම නේද?

ඔය තර්කයන් හැමදා ම කරපු දෙයක්. අපේ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණය හැංගුවොත් අපිට සිද්ධ වෙන්නේ ඒ ලෙඩ්ඩු තමන්ගෙන් අනිත් කෙනාට බෝ කරන එක. අපි හැමදා ම හිටියේ ලෙඩ්ඩු හඳුනාගෙන ඒ අයව රෝහල්වලට ඇතුළු කර ඒ අය සමාජයෙන් දූරස්ථ කරලා රෝගය පාලනය කළ යුතුයි කියලා. ඒ හින්දා මේක කිසි ම විදිහකින් සඟවන්න වුවමනාවක් නෑ. අපි දන්නවා එහෙම හැංගුවොත් මේ රෝගය පාලනය කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. එහෙම වුණොත් අපේ රට ඉන්දියාව, ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රසීලය තත්ත්වයට යනවා.

කොරෝනා මර්දනයේ ප්‍රමුඛතම කාර්යභාරයේ නිරතව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආරක්‍ෂක අංශ හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට දිය යුතු වැක්සීනය හා අනෙකුත් සෞඛ්‍ය උපකරණවල හිඟයක් පවතින බව එම අංශය චෝදනා කරනවා. ඇත්තටම ඔවුන් වෙනුවෙන් ඒ උපකරණ සැපයීමට බලධාරීන් අසමත් ද?

මොන රෝහලේදී ද එහෙම චෝදනා කළේ.

වෛද්‍ය, හෙද සංගම් පවා ඒ බව ප්‍රසිද්ධ මාධ්‍යයේ චෝදනා කරනවා?

වෘත්තීය සමිතියක් කියන්නේ ඒගොල්ලන්ට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක යම් කිසි විදිහකින් රෝහල් කටයුතු අධ්‍යක්‍ෂවරයෙක් නැත්නම් රෝහලේ වැඩකරන කාර්ය මණ්ඩලය හරි කියනවා නම් අපිට මේ දේ නෑ, තිබුණේ නෑ කියලා ඒ කාරණය අපි පිළිගන්න ඕනෑ කාරණයක්. වෘත්තීය සමිති චෝදනා කරනවා කියන්නේ තවත් එක චෝදනාවක් විතරයි. ඒ චෝදනා අපි සත පහකටවත් ගණන් ගන්නේ නෑ. ඕනෑ ම කෙනකුට ඕනෑ ම දෙයක් කියන්න පුළුවන්. පසුගිය කාලේ කිසි ම විදිහකින් එහෙ ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍යාක්‍ෂිත උපකරණ හිඟයක් තිබුණේ නෑ. දිගට ම සැපයීම කළා. තවමත් තියෙනවා. කිසි ම කෙනෙක් අනාරක්‍ෂිත වුණේ නෑ.

දැඩි සත්කාර ඇඳන් රටේ ම තිබෙන්නේ 700ක් පමණ. ඉන් කොවිඩ් සඳහා වෙන්වී ඇත්තේ ඇඳන් 104ක්. මේක බරපතළ ප්‍රශ්නයක්. මේ සඳහා රජයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවාද? ඉදිරි වැඩපිළිවෙළ මොකක් ද?

ICU beds කියන්නේ ලෝකෙ කොහෙවත් සාමාන්‍යයෙන් හිස්ව තිබෙන beds නෙමේ. විශේෂයෙන් ම මේ වගේ සංවර්ධන රටවල යම් කිසි ධාරිතාවක් එක්ක තියෙන්නේ. ඒක හැමදා ම එහෙමයි. නමුත් කොවිඩ් රෝගීන් අහුවෙනකොට එකපැත්තකින් ඇඳන් ප්‍රමාණය වැඩි කිරීම, දෙවැනි එක තියෙන ඇඳන්වලින් කොටසක් වෙන් කිරීම යන ක්‍රමවේද දෙකම පාවිච්චි වෙනවා. කොවිඩ් රෝහල් ඉදිවෙන්න පෙර තිබුණේ නෑනේ කොවිඩ් රෝහල් කියලා දෙයක්. ධ්ඛ්උ ඡඥඤ වෙන් කරද්දිත් අපි කළේ ඒකයි. ඒ කාලේ අවශ්‍යතාව අනුව ඇඳන් පාවිච්චි කළා. එතකොට ඒ අවශ්‍යතාව වැඩිවෙද්දී ඒ අවශ්‍යතාව අනුව අපි ඇඳන් වැඩි කරනවා.

එහෙම තමයි සම්පත් කළමනාකරණය කරන්නේ. සම්පත් කළමනාකරණයක් නොවුණොත් අපි අවශ්‍යතාවන්ට කලින් කාමර ලෑස්ති කර ඒ උපකරණ නඩත්තු කරමින් පාවිච්චි නොකරනවා කියන්නේ ඒ වගේ ක්‍ෂය වීමක් තියෙන්නේ. ඒවත් එක්ක යන වියදම අපට කිසි ම විදිහකින් වාසිදායක වෙන්නේ නෑ. ඒ වගේම තමයි අදත් මේ වෙලාවෙත් දැඩිසත්කාරයට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය හඳුනා ගැනීමට අපිට සැලැස්මක් තියෙනවා. මේ ඇඳන් ටික සම්පූර්ණ වුණාට පස්සේ තව ඇඳන් අවශ්‍ය වුණොත් තව ඒ රෝහල්වල තිබෙන ඇඳන් වෙන් කරනවා.

ලංකාවට දැනට ප්‍රමාණවත් ඔක්සිජන් තිබෙනවා ද?

ඔව් තියෙනවා. කොහෙවත් කිසි ම දවසක රෝහලක ඔක්සිජන් හිඟ වුණේ නෑ. දැනට රටේ ධාරිතා 2කින් ඔක්සිජන් හදන සමාගම් තියෙනවා. දැනට හදපු ඔක්සිජන් වගේ තුන් ගුණයක් ඔක්සිජන් හදාගන්න හැකියි.

මේ බරපතළ අවස්ථාව වන විට කොවිඩ් මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානය කී වරක් රැස්වුණා ද?

මං ඉලක්කම් තියාගෙන නෑ. අවශ්‍ය මොහොතේ එය රැස්වෙනවා. අනේ මං දන්නේ නෑ ඔය අහන්නේ ප්‍රශ්න ද චෝදනා පත්‍රයක් ද කියලා. මං චෝදනා පත්‍රයකට උත්තර දෙනවා වගේ. තේරුමක් නැති වැඩක් නෑ. මේකෙන් මිනිස්සුන්ට කොවිඩ්-19 ගැන වැඩක් නෑ. මේ චෝදනා පත්‍රයට දෙන අන්තිම උත්තරය. තවත් චෝදනාවලට උත්තර අහන්න එපා. මගේ කාලේ නාස්ති වෙනවා විතරයි. මං මේ ප්‍රශ්නෙට උත්තර දීලා නවත්තන්නම්.

ඒ මිනිස්සු වටවෙලා රැස්වීම් තියන්න ඕනෑ ඒ අවශ්‍යතාව අනුව. අපිට ඕනෑ නම් පැය 24 ම රැස්වීම් තියන්න පුළුවන් වැඩ නොකර. වැඩේ කෙරෙනවා නම් රැස්වීම් ඕනෑත් නෑ. ඒ විදිහට ගත්ත ම ජනාධිපති ගාව සාමාන්‍යයෙන් සතියකට වතාවක් Task Force එකේ රැස්වෙනවා. ඊට අමතරව කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ යුද්ධ හමුදාපතියි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ සම සභාපතිත්වයේ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව රැස්වෙනවා. ඊට අමතරව ගැටලුවක්, ප්‍රශ්නයක් ආවම ඒ ඒ අදාළ කණ්ඩායම වෙනම රැස්වෙනවා. සතියකට හෝ දෙකකට වතාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායම එක්ක රැස්වෙලා දිස්ත්‍රික්ක සමඟ වීඩියෝ තාක්‍ෂණය සමඟ සාකච්ඡා කරනවා. අපිට ඕනෑ තරම් රැස්වීම් 500ක් තියලා පෙන්නන්න පුළුවන්. නමුත් වැඩක් වෙන්නේ නැත්නම් තේරුමක් නෑ එයින්.

මේ වෙද්දී දෛනික ආසාදිතයන් 1000 පන්නනවා. ඉදිරි සතිය තුළ රට ලොක්ඩවුන් කරන්න වෙයි ද?

තවම එවැනි අවශ්‍යතාවක් නෑ. රෝගීන් වාර්තා වෙන්නේ පොකුරු වශයෙන්. වැඩි ම වාර්තා වෙන්නේ නුවරඑළිය හා කතරගම ගිය අයයි. ඒ අයගේ ආශ්‍රිතයෝ හඳුනා ගන්නවා. නිරෝධායන කටයුතු කරනවා. වැඩිපුර රෝගීන් වාර්තා වෙනවා නම් ඒ ප්‍රදේශ හඳුනාගෙන ග්‍රාම නිලධාරි හා පොලිස් බල ප්‍රදේශවල සංචරණ සීමා පැනවීමක් කරනවා.

දැනට වැක්සීන් කොපමණ ප්‍රමාණයක් ගෙන්නනවා ද? ඒ මොන කාල සීමාව තුළ ද?

අපේ ඉලක්කය තියෙන්නේ රටේ ජනගහනයෙන් එන්නත් ලබාදීමට සුදුසු සියල්ලට ම දීම. දැනට අවුරුදු 16ට ඉහළ අයට ලබාදිය හැකි එන්නත් ලෝකයේ තියෙනවා. නමුත් අවම වශයෙන් අපේ රටේ අවුරුදු 20ට ඉහළ අයට එන්නතක් ලබාදීමට අපි සැලසුම් කරනවා. අපිට එන්නත් ලැබෙනවා නම් මාස 3ක් තුළ මුළු රටේ ජනගහනයට ම එන්නත් දීලා මේක තුරන් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ලෝකෙට ම එන්නත් හිඟයක් තිබෙනවා. අවශ්‍යතාව සම්පූර්ණ කරන්න කොපමණ කලක් යයිද කියලා ඒ හින්දා කියන්න බෑ.

සංවාදය – අනුරාධා හේරත්
උපුටා ගැනීම – මව්බිම පුවත්පත

More from GossipMore posts in Gossip »