කොවිඩ් දෙවන රැල්ලේ මෙන්ම මෙම රැල්ලේ ද රසායනාගාර වාර්තා ලැබීම ප්‍රමාදවීම කණගාටු දායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කර තිබේ.
තවද රසායනාගාර වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් මේ වන විට ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.
රටේ පවත්නා තත්ත්වය රසායනාගාර වාර්තා හරහා සහ රෝගීන්ගේ දත්ත හරහා වාර්තා වන තත්ත්වයට වඩා භායනක සහ බැරෑරුම් බව ද උපුල් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
උපුල් රෝහණ මහතා,
“කොවිඩ්-19 පළමු සහ දෙවන රැල්ලේ වගේම කණගාටුදායක විදිහට රසායනාගාර වාර්තා ලැබීම් මේ රැල්ලේදීත් ප්‍රමාද වෙමින් තිබෙනවා. ඇත්තටම මේ මොහොතේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා ඊයේ දිනයේදී 1,500 ඉක්මවා යනවා. අපිට මෙය වාර්තාවෙන්නේ මීට දින තුනකට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්භාවය මේ රෝගී දත්තවලින් ගන්නවා නම් ඒක අපි මවා ගන්නා වැරදි චිත්‍රයක්. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්නේ නම් අද දිනයේ පවතින නියම ස්භාවය අවබෝධ කර ගතයුතුයි. මේ ඇති වෙලා තියෙන තත්ත්වයට මහජනතාවගේ සංචරණය තමයි ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ඒ නිසා තවදුරටත් අපි වගකීම් විරහිතව අනවසර ඒකරාශී වීම්වල ගැවසෙනවානම්, කටයුතු කරනවානම්, සමාජ දුරස්ථ භාවය අවම වන විදිහට අපි කටයුතු කරනවානම් ඒක ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක්. තමන්ගේ නිවසට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරට යන්න නමුත් අනවශ්‍ය ලෙස සතිපොළවල් සහ රාත්‍රී වෙළෙඳසැල්වල හෝ අනෙකුත් ස්ථානවල රැඳී සිටින්න එපා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනයවෙලා ඉතාම අභාග්‍ය තැනකට තල්ලුවෙන්න තියෙන ඉඩ වැඩියි.“






