Press "Enter" to skip to content

කොරෝනා අස්සේ වෛරස් උණක් පැතිරේ

උණ, කැස්ස, හෙම්බිරිස්සාව ආදී රෝග ලක්ෂණ මෙම රෝග දෙකට ම පොදුයි

මේ දිනවල කොරෝනවෛරසය සමග ම තවත් වෛරස් උණ රෝගයක් ද ව්‍යාප්ත වෙමින් පවතින නිසා ඒ පිළිබඳව ද වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

උණ, කැස්ස, හෙම්බිරිස්සාව ආදී රෝග ලක්ෂණ මෙම රෝග දෙකට ම පොදු නිසා රෝග ලක්ෂණයක් මතු වූ වහා ම ඒවා නොසලකා හැර සමාජය සමග ගැටීම පසෙකලා නිවැසියන්ගෙන් පවා වෙන්වී තනිව සිටීම කළ හැකි නම් එය වඩාත් ආරක්ෂාකාරී යැයි පෙන්වා දෙන වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරනුයේ රෝග ලක්ෂණ මතුවූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි.

මුඛ ආවරණ පැළඳීම, සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම, විෂබීජහරණය කිරීම රෝග ව්‍යාප්තියට මෙන්ම රෝගයට ගොදුරු වීමට ඇති හැකියාවද අවම කරන නිසා නිරන්තරයෙන් ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කළ යුතු බවද හෙතෙම පවසයි.

ගඳ සුවඳ නොදැනීම කොරෝනාවලටම ආවේණික රෝග ලක්ෂණයක් නිසා උණ තත්ත්වයක් නොපැවැතියත් ගඳ සුවඳ නොදැනීම වැනි මූලික රෝග ලක්ෂණ පහළ වූ වහා ම ඇන්ටිජන් පරීක්ෂණයක් හෝ කර ගැනීම වඩාත් සුදුසු නිසා එතෙක් සමාජයට නිරාවරණය නොවී සිටී ම අතිශය වැදගත් බව ද හෙතෙම පවසයි.