‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් වෙනුවට ‘ඕරාවැක්ස්’ යන නමින් බෙහෙත් පෙත්තක් හඳුන්වාදීමට ඊශ්‍රායල ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ‘ඕරාම්ඩ්’ සූදානම් වෙයි.
එන්නතක් මගින් සිදු කරන ප්‍රතිශක්තිය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය බෙහෙත් පෙත්තක් ලෙස නිර්මාණය කිරීමට ‘ඕරාම්ඩ්’ සමාගම තීරණය කළේ පසුගිය වසරේදීය.
‘ඕරාම්ඩ්’ යනු ඇමෙරිකන් ඊශ්‍රායල ඖෂධ නිෂ්පාදන සමාගමකි. මොවුන් මෙම ‘ඕරාවැක්ස්’ බෙහෙත් පෙත්ත නිර්මාණය කරන්නේ, ඉන්දියාවේ ‘බයෝටෙක්’ සමාගම ද හවුල් කර ගනිමිනි.
මේ වනවිට එහි සායනික අත්හදා බැලීම් සාර්ථක වෙමින් පවතින බවත්, ලබන ජූනි මාසය වෙද්දී අවසන් අදියරේ සායනික අත්හදා බැලීම් සිදුවනු ඇති බවත් ‘ඕරාම්ඩ්’ සමාගමේ ප්‍රධානී නදේව් කිඩ්රොන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
‘ඇත්තටම කීවොත් මේක මුඛ එන්නතක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එන්නත කුඩා බෙහෙත් පෙත්තක් ලෙස නිර්මාණය වෙනවා. කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට බෙහෙත් පෙත්ත පානය කිරීම පමණයි කළ යුතු වන්නේ. නිවසේ සිට ඒක කළ හැකි වේවි.’ යැයි ‘ඕරාම්ඩ්’ සමාගමේ ප්‍රධානී නදේව් වැඩිදුරටත් පවසා තිබේ.
සාමාන්‍ය නිවසේ ශීතකරණයේ පවා මෙම ‘මුඛ එන්නත’ ගබඩා කිරීමට ද හැකි වනු ඇතැයි නදේව් පෙන්වා දී තිබේ.
(රොයිටර්)






