Press "Enter" to skip to content

ඇස්ට්‍රාසෙනෙකා COVID එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්

කොවිඩ් 19 මර්දනය සඳහා වන එන්නතකරණ වැඩසටහන නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් වාර්තාවීමත් සමග ලොව රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවීමට තීරණය කිරිමත් සමගයි.

එහි ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පවසන්නේ, මේ වනවිට ත් වාර්තාවල අන්තර්ගතයන් විමර්ශනය කරමින් සිටින බව ත් එන්නත සහ රුධිර කැටි ගැසීම අතර සම්බන්ධයක් ඇති බවට මේ වන තෙක් තහවුරු වී නොමැති බවයි.

මෙම සිදුවීම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ වර්තමාන නිර්දේශයන්හි කිසියම් වෙනස්කමක් සිදු වන්නේ, නම් ඒ පිළිබඳව වහාම ජනතාව දැනුවත් කරන බව ද ඔහු පවසා ඇත.

මේ වන තෙක් එන්නත භාවිතය නුසුදුසු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් වෛරසයෙන් ජීවිත බේරා ගැනීමට සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණය අඛණ්ඩව සිදු කිරීම වැදගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂණ විශේෂඥයින් අද රැස්වීමට නියමිතයි.

මේ අතර එක්සත් ජනපද ඖෂධ නියාමන ආයතනය පවසන්නේ, එන්නත මගින් රැධිර කැටි ඇති බන බවට සාක්ෂි නොමැති බවයි.

උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳාහ යුරෝපීය ඖෂධ ඒජන්සිය ත් (EMA) අද දිනයේ රැස්වන අතර එම ඒජන්සිය ලබන බ්‍රහස්පතින්දා මේ සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට නියමිතයි.

කෙසේ වෙතත් එම ඒජන්සිය වැඩිදුරටත් පවසා ඇත්තේ, එන්නත දිගටම භාවිත කිරීමේ වරදක් නොමැති බවයි.