Press "Enter" to skip to content

කොවිඩ් දෙවන රැල්ලේ මුලය සොයන ඇමැති කමිටුවට බ්‍රැන්ඩික්ස් දොර වැසෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයන් කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමට එහි පාලනාධිකාරිය ක්‍රියා නොකිරීම පිළිබඳ සොයා බැලීමට කම්කරු ඇමැතිවරයා පත්කළ කමිටුවට අදාළ විමර්ශන කටයුතු සිදුකිරීම තාවකාලිකව අත්හැර දැමීමට සිදුව ඇත.

බ්‍රැන්ඩික්ස් ආයතනය මේ වන විට වසා දමා ඇති බැවින් එහි නොපැමිණෙන ලෙසට පාලනාධිකාරිය කමිටුවට දැනුම්දී ඇතැයි කම්කරු අමාත්‍යාංශයේ නිලධාරියකු ප්‍රකාශ කළේය.

කොවිඩ් ව්‍යාප්තිය නිසා වෘත්තීය සමිති නිලධාරීන්ටද එම කර්මාන්ත ශාලාව තුළට ඇතුළුවීමට නොහැකිවී ඇති බවත්, විමර්ශන කටයුතු සඳහා ඇඟලුම් සේවිකාවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද කමිටුවට නොහැකිවී ඇති බවත් එම නිලධාරියා පැවැසීය.

මේ නිසා කොවිඩ් ව්‍යාප්තිය අවසන් වනතුරු කමිටුවේ කටයුතු ආරම්භ කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔහු පැවැසුවේය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් පසුගියදා පත් කළේය.

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ඊ.සී.පී. දාබරේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී කේ.බී.ජී. ප්‍රේමදාස එම විමර්ශන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.

කර්මාන්ත ශාලා පරිපාලනයෙන් මේ පිළිබඳ ප්‍රකාශ ලබාගෙන සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ඇමැතිවරයා කමිටුවට උපදෙස් ලබා දුන්නේය.

මේ පිළිබඳ පැමිණිලි, සාක්ෂි සහ සිය සාමාජිකයන්ගේ ප්‍රකාශ කමිටුවට ලබා දෙන ලෙස ඇමැතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ද ඉල්ලා සිටියේය.

aruna.lk

More from GossipMore posts in Gossip »