Press "Enter" to skip to content

හෙද නිලධාරින් සේවයෙන් ඉවත් වන ලකුණු

කෝවිඩ් 19 වසංගතය හමුවේ ජීවිත අවදානම නොතකමින් සේවය කරන හෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම, සේවය අවතක්සේරුවට ලක්කිරීම හා දීමනා කප්පාදුව යන කරුණු මූලික කරගනිමින් සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියට ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටින්නේ, 7වනදාට පෙර තම ගැටලු විසඳා දීමට කටයුතු නොකරන්නේ නම් සියලුම හෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර කටයුතුවලින් ඉවත් වීමට සිදුවන බවයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ, තම අතිශය සාධනීය අවශ්‍යතාවයන් 5වනදාට පෙර ලබා නොදෙන්නේ නම් 6වන සඳුදා සිට දිවයින පුරා රෝහල් හා සියලුම සෞඛ්‍ය ආයතන තුළ හෙද නිලධාරීන් සේවයෙන් ඉවත් වන බවයි.

.කෝවිඩ් 19 රෝගී සත්කාරයේ යෙදෙන හෙද හෙදියන්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂිත උපකරණ ලබාදීම.

. සියලු හෙද කාර්‍ය මණ්ඩලයන්ට ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ලබාදීම.

.අවම හෙද නිලධාරීන් පිරිසකගේ සේවා මුර සැකසීමේදීත්, නිවාඩු ලබාදීමේදීත් බොහෝ රෝහල් පරිපාලනයන් හා හෙද පරිපාලනයන් අමාත්‍යාංශයේ උපදෙස් නොතකා කටයුතු කිරීම නවතාලීම

. මෙම වසංගත තත්ත්වය නිම වන තුරු හෙද නිලධාරීන් ලබාගන්නා නිවාඩු විශේෂ නිවාඩු ලෙස සැලකීම, එම දිනයන් රාජකාරී සිදු කළ දින ලෙස සැලකීම හා ඒවා හෙද නිලධාරියාගේ විවේක හා අනියම් නිවාඩුවලින් අඩු නොකිරීම.

. ගර්භනී සහ විවිධ රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන හෙද නිලධාරීන්ට විශේෂ නිවාඩු ලබාදීම.

. හෙද කාර්‍ය මණ්ඩල ලබාගෙන ඇති සියලුම ණය නැවත අය කර ගැනීම මාස 6කට අත්හිටුවීම.

. පසුගිය මාස 3 තුළ ගෙවා ඇති වැටුප්, අතිකාල ඇතුළු දීමනාවල සාමාන්‍ය අගය ගණනය කර එය වසංගතය නිම වන තුරු හෙද කාර්‍ය මණ්ඩලයේ වැටුප ලෙස ලබාදීම.

. මහජන සෞඛ්‍ය සේවාවන්ට සහන සැලසීමේ දී හෙද සේවාව නොසලකා හැරීම.

සමස්ත ලංකා හෙද සංගමය ඉහත සඳහන් කරුණු හා ඉල්ලීම් මත මෙම තීරණයට එළඹ තිබේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද මේ හා සමානම කරුණු හා ඉල්ලීම් මත මෙම තීරණය ගෙන ඇත.

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී. මැදවත්ත මහතා ‘අද’ කළ විමසීමකදී පවසා සිටියේ, කනගාටුවෙන් වුවත් මෙම තීරණය ගැනීමට සිදුවූයේ පවතින තත්ත්වය හා ගැටලු හමුවේ හෙද නිලධාරීන් මුහුණ දී සිටින අපහසුතා හමුවේ තවදුරටත් එම නිලධාරීන්ගේ ජීවත අවදානමට ලක් කර නොහැකි බැවින් මෙම තීරණයට එළඹි බවයි.